ලංකාවේ මහජන සාමයට අකුල් හෙළන කැනඩාව!
16 May 2025
ලංකාවේ මහජන සාමයට අකුල් හෙළන කැනඩාව!
16 May 2025
කැනඩාවේ බ්‍රැන්ට්‍රම්ප් නගරයේ ඉදිකර තිබෙන දෙමළ ජන සංහාර ස්මාරකය පිළිබඳව විදේශ කටයුතු ඇමැතිවරයා මෙරට කැනඩා මහ කොමසාරිස්වරයාට කතාකර විරෝධය පළ කළ බව දැනගන්නට ලැබේ. මේ ස්මාරකය සඳහා මුල්ගල් තබා තිබෙන්නේ 2023 වසරේදීය. ස්මාරක ඉදිකර තිබෙන බ්‍රැන්ට්‍රම්ප් යනු දෙමළ ඩයස්පෝරාවේ කේන්ද්‍රස්ථානයකි. ස්මාරකය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වී තිබෙන බ්‍රැන්ට්‍රම්ප් නගරාධිපති බ්‍රවුන් උන්නැහේ ප්‍රකාශ කර තිබෙන්නේ බරපතළ කතාවකි. උන්නැහේ සඳහන් කරන පරිදි අවසාන යුද සමයේදී දෙමළ ජනතාව දස ලක්ෂ ගණනින් ඝාතනය කර තිබේ. උන්නැහේ තවත් කතාවක් කියයි. මෙම දෙමළ සංහාර ප්‍රවාදය නොපිළිගන්නා කිසිවකුට බ්‍රැන්ට්‍රම්ප් නගරයට හෝ පොදුවේ කැනඩාවට ඇතුළුවිය නොහැකි බවත් ඔවුන් වහාම කොළඹට පිටත්කර හැරීමට පියවර ගන්නා බවත් බ්‍රවුන් උන්නැහේ අවධාරණය කරයි.
මේ උන්නැහේ සඳහන් කරන්නේ කැනඩා රජයේ නිල ස්ථාවරයදැයි අප දන්නේ නැත. එක් පැත්තකින් ඔහු තම කතාව මගින් අවධාරණය කරන්නේ කැනඩාවේ වෙසෙන දෙමළ බෙදුම්වාදී මතවාදයට විරෝධය පළකරන සිංහල ජනතාව ඇතුළු අනෙකුත් පිරිස්වලට එරට රැඳී සිටීමට අයිතියක් නොමැති බවය. එමගින් ඔහු එක්තරා ආකාරයක වර්ගවාදී ප්‍රහාරයක් එල්ල කරයි. කැනඩාවේ ජීවත්ව සිටින දෙමළ බෙදුම්වාදී මතවාදය නොපිළිගන්නා ජනතාවට එරෙහිව දෙමළ වර්ගවාදය අවුස්සන බ්‍රවුන් උන්නැහේ දෙමළ ජන සංහාර ස්මාරකය විවෘත කිරීමට පැමිණ කතාවක් පැවැත්වීම එක්තරා ආකාරයක විහිළුවකි. යටත්විජිත ඉතිහාසයේ සුදු වර්ගවාදීන් ක්‍රියාත්මක වූ ආකාරය දෙස බලන විට අපට පෙනෙන්නේ කොකේසියානු සුද්දා කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයකු කරගන්නා ආකාරයේ අමුතු ජාතියේ සතකු බවය. බ්‍රවුන් වැනි සුද්දන් අවසාන මානුෂීය මෙහෙයුමේදී මිය ගිය බව කියන දෙමළ ජනතාව පිළිබඳ කඳුළු සලන්නේ නිකන් අතපිස දාගන්න නොවන බව ඔහුගේ කිඹුල් කඳුළුවලට රැවටෙන කැනඩාවේ සහ මෙරට වෙසෙන දෙමළ ජනතාව තේරුම් ගත යුතුය.
ඔහු මේ දෙමළ වර්ගවාදය නමැති දෙබරයට ගල් ගසන්නේ ළඟ එන කැනඩා මහ මැතිවරණය දෙස බලාගෙන බව අමතක කළ යුතු නැත. කැනඩා මහ මැතිවරණයේදී දෙමළ ඩයස්‌පෝරාව තීරණාත්මක සාධකයකි. ඉන්දියාව සමග පසුගිය කාලයේ කැනඩාව රාජ්‍යතාන්ත්‍රික අර්බුදයකට ගියේ එරට වෙසෙන සික් ඩයස්පෝරාවවෙනුවෙන් කැනඩා බලධාරීන් නිරුවතින්ම පෙනී සිටීම නිසාය. කැනඩා දේශපාලනඥයන් මේ ආකාරයට සික් බෙදුම්වාදීන් වෙනුවෙන් පෙනී සිටින්නේ දේශපාලන වාසි බලාගෙනය. ඡන්දය බලාගෙන තුට්ටු දෙකේ වැඩ කරන්නේ ලංකාවේ දේශපාලනඥයන් පමණක් යැයි අප සිතුවද එය වැරැදි සිතුවිල්ලකි. ඊට නොදෙවෙනි වන තුට්ටු දෙකේ දේශපාලකයෝ කැනඩාවේ ද සිටිති. මේ තුට්ටු දෙකේ දේශපාලකයන් සෙල්ලම් කරන්නේ තවත් රටක ඉරණම සමගය. මෙවැනි ස්මාරක ඉදිකරමින් දෙමළ වර්ගවාදයට අනුබලදීමෙන් කැනඩාව ලංකාවේ මහජන සමගියට හා සාමයට ද බාධා කරයි. නැති අවුල් ඇති කරයි. එපමණක් නොව කැනඩාවට පැමිණීමට අපේක්ෂා කරන දෙමළ ජනතාවට එහිලා පළමු සුදුසුකම සේ දෙමළ වාදය සහ ඒ හා බැඳුණු දෙමළ ජන සංහාර ප්‍රවාදය පිළිගන්නැයි බලපෑම් කරයි. මේ ඉතාම බරපතළ තත්ත්වයකි.
රටක ස්වෛරීත්වයට සහ සාමකාමී පැවැත්මට එරෙහිව පියවර ගැනීමකි. කැනඩාවේ නගරයක මෙය සිදු වුවද ඒ සම්බන්ධයෙන් කැනඩා ආණ්ඩුවට වගකීමක් තිබෙන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. අප දන්නා පරිදි 2006 වසරේදී කැනඩාව කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් සේ පිළිගත්තේය. එපමණක් නොව 2024 වර්ෂයේදී ඒ ස්ථාවරය තවත් තහවුරු කළේය. මෙසේ කැනඩා රජය කොටි සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් සේ පිළිගෙන තිබියදී එම සංවිධානය පිළිගත් බෙදුම්වාදයට අනුබල දෙන විනාශකාරී ක්‍රියා දෙස නිහඬව බලා සිටින්නේ කෙසේදැයි ශ්‍රී ලංකා ආණ්ඩුව විමසිය යුතුය. යාපනය සරසවියේද මෙවැනි ජන සංහාර ස්මාරකයක් ඉදි කළ අතර පසුව එය කඩා ඉවත් කෙරිණි. තිස් වසරක යුද ගැටුම් හේතුවෙන් සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන කොටස් මිය ගියහ. සැබවින්ම ජන සංහාරයක් ලංකාව තුළ ක්‍රියාත්මක කළේ දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය විසිනි. එම සංවිධානය මේ රටේ සිංහල ජනතාව ඉලක්ක කරමින් ඔවුන් උතුරු හා නැගෙනහිර වාසය කළ ගම්බිම්වලට පැන සිංහල ජනතාව පවුල් පිටින් ඝාතනය කළ බව කැනඩා බලධාරීන් නොදන්නවා විය නොහැකිය. කොටි ත්‍රස්තවාදීහු ආගමික ස්ථානවලට කඩා වැදී ආගමික වතාවත්වල යෙදී සිටි, සිල් සමාදන්ව සිටි බෞද්ධයන් වෙඩි තබා ඝාතනය කළහ. බස් සහ දුම්රිය ඉලක්කකර බෝම්බ ඇටවූහ. මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළහ. එසේ නම් ජන සංහාරයක් සිදුකර තිබෙන්නේ දෙමළ කොටි සංවිධානය විනා ශ්‍රී ලංකා රාජ්‍ය නොවන බව පැහැදිලිය. ලංකාවේ ජන සංහාරයක් ගැන කතා කරන කැනඩාව එරට මුල් අයිතිකරුවන්ට එරෙහිව සිදුකළ සංහාරය ලෝක ඉතිහාසයේ කළුම අකුරින් ලියැවී තිබේ. මෑතක් වන තෙක් ඒ සංහාරය ක්‍රියාත්මක විය. සුදු සංස්කෘතිය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ආදිවාසී දරුවෝ මරා දමනු ලැබූහ. මෙවන් ඉතිහාසයක් තිබෙන කැනඩාව දෙමළ කොටි ඩයස්පෝරාවේ ඡන්දය බලාගෙන කරන සෙල්ලම් හුදෙක් සෙල්ලම්ද නොවේ. කැනඩා ආණ්ඩුව පසුගිය කාලයේ ප්‍රකාශ කළේ ලංකාවේ දෙමළ ජන සංහාරයක් සිදුවූ බව සනාථ කළ හැකි සාධක නොමැති බවය. එසේ තිබියදීත් කැනඩාවේ රංගනය ඉතා වගකීම් විරහිතය.