brand logo
logo
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි

30 October 2026


කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එන විශ්වාසභංග යෝජනාව එළැඹෙන 03 වැනි දින විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.


අමාත්‍යවරයා පැවසුවේ මෙම විශ්වාසභංග යෝජනාව ස්ථාවර නියෝගවලට ගැළපෙන පරිදි සංශෝධනය කර ඔක්තෝබර් 28 වැනි දිනට පෙර භාර නොදුන් නිසා එළැඹෙන නොවැම්බර් 03 වැනි දින විවාදයට ගත නොහැකි බවය.


ඒ අනුව එළැඹෙන 03 වැනි දිනය පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයක් සඳහා වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ස්ථාවර නියෝගවලට අනුව ලබා දෙන්නේ නම් එය අයවැය කාලයට පෙර විවාද කිරීමට හැකි බව පාර්ලිමේන්තු කාරක සභාවේදී දැනුම්දුන් බවය.


මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා,


"විපක්ෂයෙන් කථානායකතුමාට ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග උල්ලංඝනය නොවන පරිදි, ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි, පාර්ලිමේන්තුවේ මෙතෙක් කථානායකතුමන්ලාට ඉදිරිපත් කරලා තිබෙන විශ්වාසභංගවලත් ස්වභාවය පදනම් කරගෙන ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි ඉදිරිපත් කරන්න කියන එක. එතැනදි අපි ඉල්ලා සිටියා මෙම මස 28 වැනිදාට පෙර විපක්ෂයෙන් එම විශ්වාසභංගය ස්ථාවර නියෝගයට ගැලපෙන පරිදි වෙනස් කර ලබා දෙන්න කියලා. නමුත් එය විපක්ෂය පැත්තෙන් ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි සංශෝධනය කර ලබා නොදුන් නිසා පාර්ලිමේන්තුවට විවාද කළ නොහැකියි. පාර්ලිමේන්තුව විසින් කටයුතු කළ යුතු වන්නේ එය විසින්ම සම්මත කරගෙන තිබෙන ස්ථාවර නියෝග අනුව. පාර්ලිමේන්තුවේ කථානායක තනතුර කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා. ඒ නිසා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට අදාළව ජනාධිපතිතුමාට, අග්‍රවිනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ට, කථානායකතුමා වැනි ප්‍රධාන තනතුරුවල පුද්ගලයින්ට අදාළව විශ්වාසභංග ඉදිරිපත් කළ හැක්කේ කුමන ආකාරයෙන්ද කියන එක සම්බන්ධව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 83 තිබෙනවා. ඒ වගේම අධිකරණයේ තිබෙන කරුණු සහ විශ්වාසභංගයක් සැලසුම්කර සකස් කිරීම සම්බන්ධයෙන් 91 ස්ථාවර නියෝගවල පැහැදිලි කරලා තිබෙනවා. ඒ වගේම පාර්ලිමේන්තුවේ කාරක සභාවට තමයි මේ පිළිබඳව තීන්දු අරගෙන පාර්ලිමේන්තුවේ වැඩසටහනට එකතු කිරීමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා විපක්ෂය පැත්තෙන් එය ඉදිරිපත් නොකිරීම නිසා නොවැම්බර් 3 වැනිදා පාර්ලිමේන්තුවේ දිනය සම්පූර්ණයෙන් වෙනස් කරලා තිබෙනවා කල්තැබීමේ විවාදයකට"


 

More News..