හැඳුනුම්පත් ඉල්ලූ ලක්ෂ 16ක් අතේ කොළේ පමණයි
26 February 2026 | සාලිය කුමාර ගුණසේකර
හැඳුනුම්පත් ඉල්ලූ ලක්ෂ 16ක් අතේ කොළේ පමණයි
26 February 2026 | සාලිය කුමාර ගුණසේකර
ජාතික හැඳුනුම්පත ඉල්ලුම් කරන ලද ලක්ෂ 16 ක් ජාතික හැඳුනුම්පත වෙනුවට නිකුත් කරන ලද තාවකාලික කොළය ළඟ තබාගෙන සිටින බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති එරංග වීරරත්න පැවසීය.
ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සහ 2026 වසර සඳහා සැලසුම් කර ඇති ඉදිරි ව්‍යාපෘති සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කියා සිටියේය.
ජාතික හැඳුනුම්පත මුද්‍රණය කරන පොලි කාබනික් කාඩ්පත් හිඟකම නිසා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් ජාතික හැඳුනුම්පත වෙනුවට කොළයක් නිකුත් කළ බවද ඔහු පැවසීය.
2005 වසරේ ඉපදුණු පුද්ගලයන්ගේ සිට පොලි කාබනේට් කාඩ්පතේ මුද්‍රණය කරන ලද හැඳුනුම්පත ලබාදීම ක්‍රියාත්මක කළ බවත්, 2005 වසරේ ඉපදුණු පුද්ගලයන්ගේ හැඳුනුම්පත් ලබාදීම මේ වනවිට අවසන් කර ඇති බවත් ඔහු පැවසීය.
2006 වසරේ ඉපදුණු පුද්ගලයන්ට හැඳුනුම්පත් ලබාදීම මේ වනවිට ආරම්භ කර තිබෙන බවද,හැඳුනුම්පත් ලබා ගැනීමට නොහැකිවූ සියලු දෙනාටම වසර තුනක් ඇතුළතදී හැඳුනුම්පත නිකුත් කරන බවද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
මිලියන 1.6 ක් (එකයි දශම හය) හැඳුනුම්පත වෙනුවට නිකුත් කරන ලද කොළ තබාගෙන සිටින බවත්, ඊට අදාළව පොලි කාබනේට් කාඩ්පත් මිලියන පහක් ලබා ගැනීමට අදාළ ප්‍රසම්පාදන කටයුතු සිදුවෙමින් පවතින බවත්,මේ වසරේ අගෝස්තු මාසය වන විටදී මෙම ප්‍රසම්පාදනය සිදුකර පළමුවැනි පොලි කාබනේට් තොගය මෙරටට ගෙන ඒමට බලාපොරොත්තු වන බවද ඔහු පැවසීය.
දැනට භාවිතවන හැඳුනුම්පත වෙනුවට ජෛවමිතික දත්ත සහිත ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට අදාළව 2012 වසරේ සිටම උත්සාහ දරමින් පැවැති බවත්, වර්තමාන රජය පළමු වසර තුළදීම එම වැඩපිළිවෙළේ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත් ඔහු පැවසුවේය.
ඩිජිටල් හැඳුනුම්පතේ ප්‍රසම්පාදන කටයුතු ලබන අප්‍රේල් මාසය වනවිටදී අවසන්කර මේ වසරේ තුන්වැනි හෝ හතරවැනි කාර්තුව වනවිටදී පළමුවැනි ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයිද නියෝජ්‍ය ඇමැතිවරයා කීවේය.
මෙමගින් ජනතාව රජයේ කාර්යාලවලට පැමිණීම විශාල ලෙස අඩුකර ගැනීමට අවස්ථාව සැලසෙන බවද ඔහු පැවසීය.

