brand logo
logo
ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීම ගැන එජාපයේ ස්ථාවරය

ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීම ගැන එජාපයේ ස්ථාවරය

08 October 2026

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර සිරකරු ඇඳුම ඇන්දවීමෙන් බුදු දහම සහ ආගමික නිදහස යන කරුණු දෙකම අභියෝගයට ලක්ව ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.


ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිය පක්ෂයේ ස්ථාවරය අනාවරණය කිරීම සඳහා අස (08) මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

විනය පිටකයට අනුව සංඝයා වහන්සේගේ සිවුරු ඉවත් කිරීමේ හැකියාව ඇත්තේ, අදාළ නිකායට පමණක් බව එහිදී ඔහු කීය.

"විනය පිටකයට අනුව සංඝයා වහන්සේගේ සිවුරු ගලවන්න පුළුවන් අදාළ නිකායට පමණයි. මහනායක ස්වාමීන් වහන්සේලා එදා ජනාධිපතිතුමාට ලිපියක් යැව්වා. ඒ ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේට සමාව දෙන්න කියලයි.

ස්වාමීන් වහන්සේව හිරේ යවන්න හෝ සිවුරු ඉවත් කරන්න හෝ මහනායක ස්වාමීන්වහන්සේලාට එදා අවශ්‍යතාවයක් තිබුණේ නැහැ,.

අධිකරණයේ තීන්දුව අනුව නැවත උන්වහන්සේ බන්ධනාගාර ගත කල අවස්ථාවේ අධිකරණ අමාත්‍යාංශය ගලගොඩඅත්තේ ඥාණසාර ස්වාමීන් වහන්සේගේ සිවුර ගලවා ඉවත් කිරීම සම්බන්ධයෙන් මහනායක හිමිවරුන්ගේ අදහස් ලබා ගත යුතුව තිබුණා. ඉන් අනතුරුවයි, තීරණය කල යුත්තේ කරන්නේ කුමක්ද කියා.

මේ තීරණය මගින් බුද්ධාගමයි, ආගමික නිදහසයි දෙකම අභියෝගයට ලක්වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය සහ 10 වැනි වගන්තිය උල්ලංඝණය කරලා.

ඥාණසාර හිමියන්ට මේ නඩුව ගොනු වුණේ යහපාලන ආණ්ඩු සමයේදීයි. ඒ අවස්ථාවේදී මහනායක හිමිවරුන් උන්වහන්සේට සමාව ඉල්ලා එවකට සිටි ජනාධිපතිවරයාට ලිපියක් යොමු කළා.

ඉන් අනතුරුව තමයි උන්වහන්සේට සමාව දීමට එවකට රජය කටයුතු කළේ. මෙවැනි කටයුත්තකදී නීතිය මගින් ක්‍රියා කල යුතු වුණත් වර්තමානයේදී අදාළ නීති ක්‍රියාත්මක වෙලා නැහැ. මීට පෙර මහනායක හිමිවරුන්ගේ ඉල්ලීම මත උන්වහන්සේට නිදහස ලබාදුන්නා නම් නැවත වරක් එය වෙනස් වන්නේ කෙසේද? 

මෙහිදී සාමාන්‍ය නඩු කටයුත්තක් ලෙස ක්‍රියා කළ නොහැකියි. මෙය රටේ මහනායක හිමිවරුන් විසින් කළ ඉල්ලීමක් වනවා. ආණ්ඩුවට මේ ප්‍රශ්නය පාර්ලිමේන්තුව සමග සාකච්ඡා කර වෙනත් ආකාරයකින් විසඳීමට පවා ඉඩකඩ තිබුණා.

මේ කරුණ සම්බන්ධයෙන් Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනට පැමිණි පසු නීතිමය පසුබිමද ඇතුළත්ව සවිස්තර ප්‍රකාශයක් කිරීමට බලාපොරොත්තු වෙනවා."

 

More News..