brand logo
logo
රත්මලානේ සයිමා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

රත්මලානේ සයිමා පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

11 August 2026

මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන “රත්මලානේ සයිමා” නමැත්තා පැය 48ක කාලයක් රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.


මහනුවර මහේස්ත්‍රාත් අධිකරණට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන් බව බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.


වැඩිදුර විමර්ශන සඳහා “රත්මලානේ සයිමා” නමැත්තා ඊයේ (10) රාත්‍රියේ පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබුණි.


වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියානු පොලිසියේ සහ ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව එරටදී අත්අඩංගුවට ගෙන තිබුණි.


ඔහු සමඟ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරුවන් තිදෙනා ඊයේ පස්වරුවේ වැඩිදුර විමර්ශන සඳහා මෙරටට රැගෙනවිත් තිබේ.


ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, 2014 වසරේ පේරාදෙණිය පොලිස් වසමේදී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සහ 2016 වසරේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු දෙකක චූදිතයෙකු බව පොලිසිය සඳහන් කරයි.


මේ අතර, මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



 

More News..