Best News Website award
brand logo
logo
ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 15ක නව නගරය-චීන ආයෝජනයෙන්

ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 15ක නව නගරය-චීන ආයෝජනයෙන්

20 November 2026


ඉන්දියන් සාගරයෙන් ගොඩනැගුණු නව භූමියක් මත, ශ්‍රී ලංකාවේ ආර්ථික අනාගතය වෙනස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරය, ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක ආයෝජන ඉලක්කයක් සහිතය.


කොළඹ නගරයට යාබදව, මුහුද ගොඩකර නිර්මාණය කළ හෙක්ටයාර 269 ක භූමි ප්‍රදේශයක ඉදිවන මෙම නව නගරය, ආසියා පැසිෆික් කලාපය ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ජාලයන් සමඟ සම්බන්ධ කෙරෙන ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට පත්කිරීම මූලික අපේක්ෂාව වේ.


චීන වරාය ඉංජිනේරු සමාගමේ ප්‍රධාන ආයෝජන සහ සංවර්ධන දායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, චීනයේ ෂෙන්වෙන් නගරයේ සංවර්ධන ආකෘතියෙන් ද ආභාසය ලබා තිබේ.


මේ වන විට වරාය නගරයේ සුඛෝපභෝගී නිවාස සංකීර්ණ, ව්‍යාපාරික ගොඩනැගිලි සහ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන ඇතුළු ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මකය.


2026 වසරේ ජනවාරි මාසයේ ඉදිකිරීම් ආරම්භ කළ මෙහි බේ වන් නිවාස ව්‍යාපෘතියේ නිවාස ඒකකවලින් 70%ක් මාස හතරක් පහක් වැනි කෙටි කාලයකදී අලෙවි වී තිබීම, ආයෝජකයන්ගේ සහ ගැනුම්කරුවන්ගේ විශ්වාසය පෙන්නුම් කරන්නක් බව ව්‍යාපෘති බලධාරීන් සඳහන් කරයි.


මේ අතර, දේශීය දේපළ සංවර්ධන සමාගම් කිහිපයක් ද වරාය නගරයේ නව ආයෝජන සඳහා එක්ව සිටියි.


දැනටමත් සමාගම් 200කට අධික සංඛ්‍යාවක් වරාය නගරය තුළ ලියාපදිංචි වී ඇති අතර, ඉදිරි අදියරේදී කාර්යාල සංකීර්ණ සහ වාණිජ පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට සැලසුම් කර ඇත.


වරාය නගරයේ සංවර්ධනය, දේපළ වෙළෙඳාමට පමණක් සීමා නොවන්නකි. එහි ස්ථාපිත තොරතුරු තාක්ෂණ උද්‍යානය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාරික සේවා මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට ගන්නා වූ උත්සාහයේ වැදගත් පියවරක් වේ.


ස්විට්සර්ලන්තය මුලස්ථානය කරගත් IGT1 සමාගම, 2024 මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමෙන් පසු සිය සේවක සංඛ්‍යාව 500කට ආසන්න මට්ටමක් දක්වා වර්ධනය කරගෙන තිබේ.


මෙවැනි ආයෝජන හරහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට විදෙස්ගත වීමකින් තොරවම ජාත්‍යන්තර සමාගම් සමඟ සේවය කිරීමේ අවස්ථා ද උදාවී ඇත.


2025 වසරේදී ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ සේවා අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.6ක් දක්වා ළඟා වී ඇති අතර, 2030 වන විට එය ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ නැංවීම ජාතික ඉලක්කය වේ.


වරාය නගරයේ ක්‍රියාත්මක බදු සහන, විශේෂ විදේශ මුදල් ගනුදෙනු රාමුව සහ ජාත්‍යන්තර වෘත්තිකයන් බඳවා ගැනීමේ පහසුකම්, එම ඉලක්කය කරා යාමට ආයෝජකයන් ආකර්ෂණය කරගන්නා ප්‍රධාන සාධක ලෙස සැලකේ.

‍

ණය අර්බුදය සහ සංචාරක කර්මාන්තයේ පසුබෑමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව සිය ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට උත්සාහ දරන පසුබිමක, චීනයේ ආයෝජන සහ යටිතල පහසුකම් සංවර්ධන සහයෝගීතාවට ද විශේෂ ස්ථානයක් හිමිව තිබේ.


හම්බන්තොට වරාය සහ අධිවේගී මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනයෙන් ඔබ්බට යමින්, දෙරටේ සහයෝගීතාව දැන් සේවා ආර්ථිකය, තාක්ෂණය සහ ජාත්‍යන්තර ආයෝජන ක්ෂේත්‍ර වෙත ද ව්‍යාප්ත වෙමින් පවතී.


තේ, රබර් සහ ඇඟලුම් වැනි සාම්ප්‍රදායික අපනයන මත රඳා පැවති ශ්‍රී ලංකාවේ ආර්ථිකය, තොරතුරු තාක්ෂණය, මූල්‍ය සේවා සහ සැපයුම් සේවා කේන්ද්‍ර කරගත් නව ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීම මෙම ව්‍යාපෘතියේ දිගුකාලීන අපේක්ෂාව වන බව සඳහන්ය.


මුහුදෙන් ගොඩ නැගුණු නව භුමියක් ලෙස ආරම්භ වූ කොළඹ වරාය නගරය, අද ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය, ජාත්‍යන්තර ආයෝජන සහ නව රැකියා අවස්ථා පිළිබඳ බලාපොරොත්තු රැසක් එක්තැන් කරන සංවර්ධන ව්‍යාපෘතියක් බවට පත්වෙමින් තිබෙනවා.


එය ගොඩනැගිලි සහ මාර්ග වලින් සමන්විත නව නගරයක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ අනාගත ආර්ථික දිශානතිය වෙනස් කිරීමේ උත්සාහයක සංකේතයක් ද වනු නොඅනුමානය.

 

More News..