IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්
05 October 2026
IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවක්
05 October 2026
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ.
මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් ලබාගැනීමට හැකි වනු ඇත.
ඒ අනුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට මෙතෙක් ලබාදී ඇති සමස්ත මූල්‍ය සහාය අමෙරිකානු ඩොලර් බිලියන 2.7කට ආසන්න මට්ටමක් දක්වා ඉහළ යනු ඇත.
කෙසේ වෙතත්, මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත් වන අතර, 2027 අයවැය වැඩසටහනේ පරාමිතීන්ට අනුකූලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සහ මූල්‍ය සහතික සමාලෝචනය සම්පූර්ණ කිරීම එම අනුමැතියට පෙර අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනය මගින් සඳහන් කර තිබේ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පපර්ජියෝර්ජියෝ මහතා පෙන්වා දෙන්නේ, අඛණ්ඩව ඇතිවූ ආර්ථික කම්පන මධ්‍යයේ වුවද ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවය.
2026 වසරේ දෙවැනි කාර්තුවේ ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 4.2කින් වර්ධනය වී ඇති අතර, එය අඛණ්ඩව වර්ධනය වාර්තා කළ 11 වැනි කාර්තුව බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර තිබේ.
2026 සැප්තැම්බර් මාසයේ වාර්ෂික උද්ධමනය සියයට 8ක් ලෙස තනි ඉලක්කම් මට්ටමේ පැවති අතර, අගෝස්තු අවසානය වනවිට ශ්‍රී ලංකාවේ දළ නිල විදේශ සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් බැංකු පද්ධතිය ප්‍රමාණවත් ප්‍රාග්ධනයක් සහිතව ලාභදායී තත්ත්වයක පවතින බවත්, 2026 පළමු අර්ධයේ රාජ්‍ය මූල්‍ය ප්‍රතිඵල ශක්තිමත් බව සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුද බොහෝ දුරට අවසන් කර ඇති බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.
එහෙත්, මැද පෙරදිග යුද්ධයේ කාලසීමාව සහ තීව්‍රතාව පිළිබඳ අවිනිශ්චිතතාව, ගෝලීය වෙළෙඳ ප්‍රතිපත්ති සහ එල්නිනෝ තත්ත්වයේ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට තවදුරටත් අවදානම් පවතින බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබේ.
මැද පෙරදිග යුද්ධය දිගුකාලීනව පවතින්නේ නම්, ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වෙනස්වීම්වලට අනුකූලව දේශීය ඉන්ධන මිලද ගැලපීමට ඉඩ දිය යුතු බව ඔවුන් සඳහන් කර ඇත.
එමෙන්ම, බලශක්ති මිලකරණයේ පිරිවැය ආවරණය වන ක්‍රමවේදය පවත්වාගෙන යා යුතු අතර, අඩු ආදායම්ලාභී සහ අවදානමට ලක්වූ ජනතාව ඉලක්කගත මුදල් සහන මඟින් ආරක්ෂා කළ යුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ සම්බන්ධව අවධාරණය කර තිබේ.
උද්ධමනයට දෙවන වටයේ බලපෑම් තවදුරටත් දැඩි වුවහොත්, අවශ්‍ය අවස්ථාවක මුදල් ප්‍රතිපත්තිය දැඩි කිරීමට සූදානමින් සිටිය යුතු බවද ඔවුන් මෙරටට දැනුම්දී ඇත.
තවද, රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම සඳහා මධ්‍ය කාලීන ආදායම් උපායමාර්ගයක් සකස් කිරීම, බදු පද්ධතිය වඩාත් කාර්යක්ෂම සහ සාධාරණ කිරීම, රාජ්‍ය ආයෝජන කළමනාකරණය ශක්තිමත් කිරීම, විනිමය අනුපාතයට වැඩි නම්‍යශීලීභාවයක් ලබාදීම සහ දූෂණ විරෝධී නීතිමය රාමුවේ විශ්වසනීයභාවය රැකගැනීම අවශ්‍ය බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.
ශක්තිමත් සහ සියලු දෙනාට ප්‍රතිලාභ ලැබෙන ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ව්‍යාපාර සහ කම්කරු නීති නවීකරණය, මූල්‍ය පහසුකම් සඳහා ප්‍රවේශය පුළුල් කිරීම, ඩිජිටල් රාජ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ යටිතල පහසුකම් හිඟයන් පියවීමද වැදගත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය නිවේදනය මගින් සඳහන් කර ඇත.
මෙරට සැප්තැම්බර් 10 සිට 23 දක්වා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දූත මෙහෙයුමෙන් අනතුරුව, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ මාර්ග ගත සාකච්ඡා පවත්වා මෙම කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අවසන් කර ඇත.

