ඉන්දියාවේ උපකාරක පන්ති මධ්‍යස්ථානයක ගින්නක් - සිසුන් 15ක් ජීවිතක්ෂයට
22 June 2026
ඉන්දියාවේ උපකාරක පන්ති මධ්‍යස්ථානයක ගින්නක් - සිසුන් 15ක් ජීවිතක්ෂයට
22 June 2026
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ලක්නව් නුවර පිහිටි උපකාරක පන්ති මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක අද (22) හටගත් ගින්නකින් සිසුන් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඉන්දීය මාධ්‍ය පවසයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී විශාල පිරිසක් ගොඩනැගිල්ල තුළ සිරවී ඇති අතර, බේරීම සඳහා ඇතැම් සිසුන් ගොඩනැගිල්ලේ පළමු මහලෙන් පහළට පැන ඇති බව වාර්තා වේ.
පැයකට අධික කාලයක් තිස්සේ දරුණු ලෙස පැතිර ගිය ගින්න පාලනය කිරීමෙන් අනතුරුව, සුන්බුන් අතර තිබී මළසිරුරු 15ක් සොයාගෙන ඇති බව සඳහන් වේ.
වාණිජ කලාපයක පිහිටි මෙම තෙමහල් ගොඩනැගිල්ලේ, උපකාරක පන්ති මධ්‍යස්ථානයට අමතරව ක්‍රීඩා කලාපයක් (Gaming zone), සුරතල් සතුන්ගේ මෙවලම් අලෙවිසැලක් සහ සත්ත්ව සායනයක් ඇතුළු වෙළෙඳසැල් කිහිපයක්ම පවත්වාගෙන ගොස් තිබේ.
ගොඩනැගිල්ලේ ඉහළ මහලෙන් හටගත් ගින්න ඉතා වේගයෙන් පැතිර ගොස් ඇති අතර, ජීවිත බේරාගැනීම සඳහා ජනෙල් වීදුරු බිඳ දමමින් සිසුන් ඇතුළු පිරිසක් පහළට පනින අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන ද මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
එලෙස පහළට පැනීමෙන් තුවාල ලැබූ කිහිපදෙනෙකු මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.
මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද මෙම අනතුරෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව සිය ශෝකය ප්‍රකාශ කර ඇති අතර, මියගිය අයගේ පවුල් සඳහා ඉන්දීය රුපියල් ලක්ෂ 2ක බැගින් සහ තුවාල ලැබූවන් සඳහා රුපියල් 50,000ක බැගින් මූල්‍ය ආධාර ලබාදෙන බව ප්‍රකාශ කර ඇත.

