brand logo
logo
පිටකොටුවේ බස්පොළේ  හොරු  අල්ලපු  CCTV පද්ධතිය  ගුවන් හමුදාවෙන් ගිලිහෙන්න යයි

පිටකොටුවේ බස්පොළේ හොරු අල්ලපු CCTV පද්ධතිය ගුවන් හමුදාවෙන් ගිලිහෙන්න යයි

26 August 2026 | ශිරාන් රණසිංහ

පිටකොටුව ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළේ සීසීටීවී ආවේක්ෂණ කටයුතු ලබන 15 වැනිදා සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ඉවත් කර යළි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල ආරක්ෂක අංශය වෙත බාරදීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉකුත් අප්‍රේල් මස 08 වැනිදා සිට මධ්‍යම බස් නැවතුම්පොළේ සිදුවන විවිධ ගණයේ අපචාර හා අපරාධ වළක්වාලීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා නිලධාරීන් විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ අතර, එම කටයුතු ලංගමය වෙත පවරාදීමෙන් පසු අදාළ කටයුතු අඩපණ විය හැකි බව මගී ජනතාව පවසති.


ගෙවී ගිය මාස පහක පමණ කාලයේදී මධ්‍යම බස් නැවතුම්පොළෙහි දේපළවලට හානි කළ පුද්ගලයන්, ගැට කපන්නන්, අපවිත්‍ර කළ අය, විවිධ අපරාධ හා අපචාර සිදු කළ පුද්ගලයන් 1296ක් අත්අඩංගුවට ගෙන ඒ අයට අදාළව නීතිමය පියවර ගැනීමට ඔවුන් සමත් වී ඇත.


ශ්‍රී ලංකා ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අංශයේ මෙහෙයුම් අංශයේ අධ්‍යක්ෂ ජනරාල් එයාර් වයිස් මාෂල් වජිර සේනාධිරගේ අධීක්ෂණය යටතේ සීසීටිවී ආරක්ෂණ පද්ධතිය භාර ප්‍රධානී බලගණ නායක ඉන්දික වික්‍රමසිංහ ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙක් හා සෙසු නිලයන් තිස් අට දෙනකුගෙන් මෙම සීසීටීවී මෙහෙයුම් පද්ධතිය ක්‍රියාවට නංවා තිබිණි.


මෙම පද්ධතියේ කටයුතු වඩාත් විධිමත් කිරීමෙන් පසුව ගුවන් හමුදා නිලධාරීන් විසිපස් දෙනෙක් පමණක් යොදාගනිමින් එහි කටයුතු සහ ආරක්ෂණ කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කෙරිණි.


මෙම කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිසිය, 1990 සුව සැරිය ගිලන් රථ සේවාව සහ ශ්‍රී ලංගමයේ සහායද ලබාගෙන ඇත. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන මගින් දින 200ක් ඇතුළත කොළඹ ශ්‍රී ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සම්පූර්ණයෙන්ම නවීකරණය කරනු ලැබීය. එහි දෙවැනි පියවර ලෙස ආරක්ෂිත කැමරා 64ක් මගින් ආරක්ෂණ කටයුතු ඉකුත් අප්‍රේල් 08 වැනිදා ආරම්භ කරනු ලැබීය.


මෙම සීසීටිවී ආවේක්ෂණ කටයුතු යළි ශ්‍රී ලංගම ආරක්ෂක අංශ වෙත ලබාදීමට පෙර ඔවුනට ඒ පිළිබඳව විශේෂ පුහුණුවක් ලබාදීමද මේ වනවිට ආරම්භ කර ඇත.

 

More News..