ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට
10 November 2026
ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට
10 November 2026
පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කළු, නිල්වලා. ගිං, වලවේ සහ කුඩා ගඟ යන ගංගාවල මෙන්ම අත්තනගලුඔයේ ජල මට්ටම ද ඉහළ යමින් පවකින බව වාර්තා වේ.
ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග බද්දේගම, තවලම, නාගොඩ සහ වැලිවිටිය - දිවිතුර ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.
පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කරන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ එල්.එස්. සූරියබණ්ඩාර මහතා,
"වැඩිම වර්ෂාපතනයක් වාර්තා වන්නේ ගිං ගඟ ඉහළ ප්‍රදේශයෙන් දෙල්ලව ප්‍රදේශයට මිලිමීටර් 160 කට ආසන්න වර්ෂාපතනයක්. මේ තත්ත්වය යටතේ ගිං ගඟ සහ නිල්වලා ගඟ ජල මට්ටම් සැලකිය යුතු ඉහළ යාමක් දැකගන්න තියෙනවා. විශේෂයෙන්ම නිල්වලා ගඟ අකුරැස්ස සහින් පහළ ප්‍රදේශ සුළු ගං වතුර මට්ටමට ආසන්න මට්ටමකට පැමිණ තිබෙනවා. ඒ වගේම තවලම පහළ ප්‍රදේශ සහ බද්දේගම ආසන්න ප්‍රදේශ සුළු ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. විශේෂයෙන්ම නාගොඩ සහ පෙරවිටිති උතුර වැනි පදිංචි ගම්කොට්ඨාස වල ජල පහත් බිම් බොහෝ දුරට යටවීමේ හැකියාව තියෙනවා. ඒ වගේම කළුගඟ විශේෂයෙන්ම මිල්ලකන්ද සහ කළුගඟ අතුගංඟාව වන කුඩා ගඟ ආශ්‍රිතව මිල්ලකන්ද සුළු ගං වතුර තත්ත්වයකට බොහෝ දුරට ආසන්න මට්ටමේ තියෙන්නේ. විශේෂයෙන්ම බුලත්සිංහල පාලින්දනුවර වැනි ප්‍රදේශවල පහත්බිම් මේ වන විටත් යටවීමේ හැකියාව තියෙනවා. අත්තනගලුඔය ජල මට්ටම විශේෂයෙන්ම දූනමලේ ජල මට්ටම සුළු ගං වතුර තත්ත්වයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා."
මේ අතර වර්ෂාව හේතුවෙන් අලිකොටආර ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම නිසා නුගේයාය ග්‍රාම නිලධාරී කොට්ඨාශයේ පවුල් 40කට පමණ බලපෑම් එල්ල් වී තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ, අදාළ නිවාසවල සිටින පුද්ගලයින්ට සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුවන ලෙස දැනුම් දී ඇති බවය.
මේ අතර ඇල්ල - පස්සර මාර්ගයට මාවුස්සාගොල්ල ප්‍රදේශයේ දී පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයට කුඩාගම ප්‍රදේශයේ දී ද පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට ද බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 09කට නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.
බදුල්ල, කොළඹ, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල, මොනරාගල, නුවරඑළිය, රත්නපුරය යන දිස්ත්‍රික්ක සඳහා අදියර 1 යටතේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව වාර්තා වේ.
රත්නපුර, නුවරඑළිය, කෑගල්ල, ගාල්ල, මහනුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා දෙවන අදියරේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේය.

