මාලදිවයිනේ ආර්ථිකයට ඉන්දියාවෙන් තල්ලුවක්
21 October 2026
මාලදිවයිනේ ආර්ථිකයට ඉන්දියාවෙන් තල්ලුවක්
21 October 2026
මාලදිවයින වෙනුවෙන් ලබාදී තිබූ ඉන්දීය රුපියල් කෝටි 3,000ක මුදල් හුවමාරු පහසුකම නැවත දීර්ඝ කිරීමට ඉන්දීය රජය අනුමැතිය ලබාදී ඇති බව මාලදිවයිනේ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.
සාර්ක් රටවල් සඳහා වන මුදල් හුවමාරු රාමුව යටතේ මාලදිවයින් රජය කළ ඉල්ලීමකට අනුව මෙම අනුමැතිය හිමිවී තිබේ.
මෙම ගිවිසුමට ඉන්දියානු මහ බැංකුව සහ මාලදිවයින් මුදල් අධිකාරිය අතර අත්සන් තබනු ලැබුවේ 2024 ඔක්තෝබර් මාසයේදී මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු ඉන්දියාවේ නිරත වූ රාජ්ය සංචාරය අතරතුරදීය.
මෙම පහසුකම යටතේ ප්රථම ඉන්දීය රුපියල් බිලියන 30ක මුදල මාලදිවයින වෙත ලබා දෙනු ලැබුවේ 2026 අප්රේල් 23 වනදාය.
2024-27 කාලසීමාව සඳහා වන මුදල් හුවමාරු රාමුව යටතේ, මෙම ද්විපාර්ශ්වික ගිවිසුම මගින් පොලී අනුපාත සහ අනෙකුත් කොන්දේසි සම්බන්ධයෙන් විශේෂ සහන රැසක් හිමිවන බවද අදාළ නිවේදනයේ සඳහන් වෙයි.
2012 වසරේදී මෙම පහසුකම් රාමුව හඳුන්වා දුන් අවස්ථාවේ සිට මේ දක්වා ඉන්දියානු මහ බැංකුව විසින් අමෙරිකානු ඩොලර් බිලියන 1.1කට අධික මුදල් හුවමාරු සහයක් මාලදිවයින වෙත ලබා දී ඇත.
මීට අමතරව, අමෙරිකානු ඩොලර් මිලියන 250ක් සහ මිලියන 100ක් වටිනා දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර දෙකක් සඳහා ද ඉන්දියාව මුදල් ආයෝජනය කර තිබේ.
මාලදිවයිනේ මූල්ය ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා ඉන්දියාව ලබාදෙන මෙම මුදල් හුවමාරු පහසුකම මෙන්ම භාණ්ඩාගාර බැඳුම්කර සහ බිල්පත් ආයෝජනයන් ද ප්රබල රුකුලක් වී තිබේ.

