brand logo
logo
ආසියානු කුසලානේ 10 වැනි අදියරට ශූරියන්ගේ සංචිතය නම් කෙරේ

ආසියානු කුසලානේ 10 වැනි අදියරට ශූරියන්ගේ සංචිතය නම් කෙරේ

14 August 2026


කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වැනි අදියර ලෙස එළැඹෙන 28 වැනිදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන තරගාවලිය සඳහා අවසන් අදියර ශූරියන් ලෙස සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය ඊයේ (13 වැනිදා) ප්‍රකාශයට පත්කළ අතර චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුතු සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත් වේ.


තරුණ සහ මෑත කාලයේ දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩිකාවන් සඳහා වැඩි බරක් තබා ඇති සංචිතයේ උප නායකත්වය හර්ෂිතා සමරවික්‍රම සතුය. හර්ෂිතා ද සමගින් ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස පිතිකරණ අංශයට හසිනි පෙරේරා සහ නිල්ක්ෂිකා සිල්වා එක්වන අතර විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි සමගින් 17 හැවිරිදි ක්‍රීඩිකා සංජනා කාවින්දි ද සංචිතයට කැඳවා ඇත. කඩුලු රැකීමේ වගකීම කෞෂිනී නුත්‍යාංගනා වෙත හිමිව තිබේ.


චමරි සමගින් කවීෂා දිල්හාරි සහ දෙව්මි විහංගා තුන් ඉරියව් ක්‍රීඩිකාවන් ලෙස සංචිතයට එක් වද්දී, දඟ පන්දු බලඇණියේ ශක්තිය වැඩි කරමින් සුගන්දිකා කුමාරි මෙන්ම චමුදි ප්‍රබෝධා ද කැඳවීම් ලබා ඇත. මිතලි අයෝධ්‍යා, කාව්‍යා කාවින්දි සහ චේතනා විමුක්ති වේග පන්දු යවන්නියන් ලෙස සංචිතයට එක් වෙති.


තරගාවලිය සඳහා ඉන්දියාව, පාකිස්තානය, තායිලන්තය සහ හොංකොං 'ඒ' කාණ්ඩයෙන් ද, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව සහ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යය 'බී' කාණ්ඩයෙන් ද තරග කිරීමට නියමිතය. මූලික වටයේ තරග සැප්තැම්බර් 8 වැනිදා දක්වා පැවැත්වීමෙන් අනතුරුව අවසන් මහා තරගය ඩුබායි හිදී සැප්තැම්බර් 13 වැනිදා පැවැත්වීමට සැලසුම්කර ඇත.


ශ්‍රී ලංකා සංචිතය


චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම (උප නායිකා), හසිනි පෙරේරා, නිල්ක්ෂිකා සිල්වා, විශ්මි ගුණරත්න, ඉමේෂා දුලානි, සංජනා කාවින්දි, කෞෂිනී නුත්‍යාංගනා, කවීෂා දිල්හාරි, දෙව්මි විහංගා, සුගන්දිකා කුමාරි, චමුදි ප්‍රබෝධා, මිතලි අයෝධ්‍යා, කාව්‍යා කාවින්දි, චේතනා විමුක්ති


ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ තරග කාලසටහන


ශ්‍රී ලංකාව - එක්සත් අරාබි එමීර් රාජ්‍ය - අගෝස්තු 29

ශ්‍රී ලංකාව - ඉන්දුනීසියාව - සැප්තැම්බර් 02

ශ්‍රී ලංකාව - බංග්ලාදේශය - සැප්තැම්බර් 06

 

More News..