අල්ටිමේට් සටනේ ක්‍රීඩක ලැයිස්තු නිකුත් කෙරේ
09 September 2026
අල්ටිමේට් සටනේ ක්‍රීඩක ලැයිස්තු නිකුත් කෙරේ
09 September 2026
ලෝක මලල ක්‍රීඩා ආයතනය ප්‍රථම වරට සංවිධාන කරන අල්ටිමේට් ශූරතාවලිය සඳහා සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ලැයිස්තු ඊයේ (7 වැනිදා) සංවිධායකයන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. හංගේරියාවේ බුඩාපේසට් හිදී එළැඹෙන 11 වැනිදා ඇරැඹෙන ශූරතාවලිය සඳහා ලෝක ශ්‍රේණිගත කිරීම්හි අංක එකේ හෙල්ල විසිකිරීම ක්‍රීඩකයා වන රුමේෂ් තරංග මෙරට නියෝජනය කරමින් සහභාගිවීමට නියමිතය.
ඉසව්වක වර්තමාන ඔලිම්පික්, ලෝක ශූරතා සහ ඩයමන්ඩ් ලීග් ශූරයන්, ශූරියන් හට අල්ටිමේට් ශූරතාවලිය සඳහා ඍජු සුදුසුකම් හිමිවන අතර සෙසු තරගකරුවන් අල්ටිමේට් ශූරතාවලිය සඳහාම වූ ශ්‍රේණිගත කිරීම් ඔස්සේ තෝරාගනු ලැබේ. ඊට අමතරව සංවිධායකයන්ගේ සුවිශේෂී ආරාධනා හිමිවන තරගකරුවන්ට ද සහභාගිවීමට අවස්ථාව හිමිවේ.
ශූරතාවලියට ජවන ඉසව් 8ක් හා පිටිය ඉසව් 5ක් ලෙස ඉසව් 13ක් ඇතුළත් වන අතර කාන්තා හා පිරිමි අංශ දෙකෙන්ම තරග පැවැත්වේ. ඊට අමතරව මීටර් 100 සහ 400 මිශ්‍ර සහය දිවීම තරග 2ක් ද ඇතුළත් වේ. මෙම ඉසව් සඳහා මලල ක්‍රීඩා සම්මේලන 65ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 381ක් සහභාගිවීමට නියමිතය.
තෙදින තරගාවලියක් ලෙස පැවැත්වෙන ශූරතාවලිය 13 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර රුමේෂ් සහභාගිවන හෙල්ල විසිකිරීම පිරිමි ඉසව්ව 13 වැනිදාට යෙදී ඇත. ඒ සඳහා රුමේෂ් සමගින් 2024 පැරිස් ඔලිම්පික් ශූර අර්ශද් නදීම්, 2025 ටෝකියෝ ලෝක ශූර කෙෂෝන් වොල්කොට් ඇතුළු ක්‍රීඩකයන් 7 දෙනකු සුදුසුකම් ලබා තිබේ.

