Best News Website award
brand logo
logo
මේ අයවැය ගුරු විදුහල්පතිවරුන්ගේ බලාපොරොත්තු සුන් කළා

මේ අයවැය ගුරු විදුහල්පතිවරුන්ගේ බලාපොරොත්තු සුන් කළා

20 November 2026 | සංවාදය - නිරෝෂා වාසල


ජනාධිපතිවරයා පසුගිය දොළොස්වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මේ රටේ අධ්‍යාපනය මෙන්ම ගුරු විදුහල්පතිවරු සම්පූර්ණයෙන්ම අමතක කළ අයවැයක් බව ලංකා ගුරු සංගමය කියයි. ගුරු - විදුහල්පති වැටුප් විෂමතාවේ ඉතිරි කොටස් පියවීම ගැන අයවැයේ කිසිම සඳහනක් නොමැති බවට ද එම සංගමය චෝදනා කරයි. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් වෙන් කරනවා යැයි පොරොන්දු දෙමින් බලයට පැමිණි ජාතික ජන බලවේගයට දැන් ඒ පොරොන්දු අමතකව ගොස් ඇති බවද කියැවෙයි. එම කරුණු සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සමග ‘අරුණ’ කළ සාකච්ඡාවකි මේ.


ජාතික ජන බලවේග ආණ්ඩුවේ තුන්වැනි අයවැය ගැන ගුරුවරු සහ විදුහල්පතිවරු මොකද කියන්නේ?


2027 වර්ෂය සඳහා වන අයවැය අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම අමතක කළ අයවැයක් හැටියටයි අපි දකින්නේ. මේ ආණ්ඩුවට ගුරු විදුහල්පතිවරු ගැන කිසිම හැඟීමක් නැහැ කියන එක මේ අයවැයෙන් හොඳටම ඔප්පු වුණා. ඒ නිසා 2027 වර්ෂය සඳහා ඉදිරිපත් වූ අයවැය ගැන ගුරු විදුහල්පතිවරුන්ට නම් කිසිම පැහැදීමක් නෑ.


ඇයි එහෙම කියන්නේ?


ගුරු වෘත්තියේ පවතින වැටුප් විෂමතා ඉවත් කරගැනීම වෙනුවෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දීර්ඝ කාලයක් තිස්සේ දැවැන්ත අරගලයක නිරත වුණා. ඒ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට සුබෝධනී කමිටු වාර්තාව මගින් නිර්දේශිත වැටුප් වැඩිවීමෙන් තුනෙන් එකක් 2022.01.01 දින සිට ගෙවීමට කටයුතු කෙරුණා. ඉතිරි වැටුප අදියරගතව දෙනවා කියලා කිව්වා. ඒත් ඒ කිව්ව විදිහට වැඩේ වුණේ නැති නිසා නැවැත අපි සියලු දෙනාම එකතු වෙලා සටන් කළා. සුබෝධනී කමිටු වාර්තාව මගින් නිර්දේශිත වැටුප් වැඩිවීමෙන් ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට ලැබිය යුතු ඉතිරි තුනෙන් දෙකේ කොටස දිනාගැනීම සඳහා අපි කළ සටනට ජාතික ජන බලවේගයේ මහින්ද ජයසිංහ සහෝදරයත් එකතු වුණා. අපි ඒ අරගලය කරන අතරේදී තමයි මේ ආණ්ඩුව බලයට පත්වුණේ. බලය ගැනීමට පෙර ගුරු විදුහල්පතිවරු වෙනුවෙන් පෙනී සිටි, පාරට බැහැලා සටන් කළ පිරිසට බලයට ආ පසුව තමන් පෙර කළ කී හැම දෙයක්ම අමතක වෙලා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතාවේ ඉතිරි කොටස් දෙක ගැන 2027 වර්ෂය සඳහා වන අයවැය තුළ කිසිම සඳහනක් නැත්තේ ඒ නිසයි. අඩුම තරමේ ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කරද්දීවත් ඒ ගැන වචනයක් කතා කළේ නෑ. ගුරු විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැන අයවැය තුළ කිසිම සඳහනක් නැත්තේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක්. අධ්‍යාපන කමිටුවක් හදලා ඒ කමිටුව හරහා මේ ප්‍රශ්නය විසඳනවා කියලා දැන් මහින්ද ජයසිංහ සහෝදරයා ඇතුළු කණ්ඩායම කියනවා. ඒක විකාර කතාවක්. මොකද ඒ කමිටුවට සහ අපේ වැටුප අතර කිසිම සම්බන්ධයක් නෑ. ඒක රැවටීමක් විතරයි.


රාජ්‍ය සේවක වැටුප් වැඩිකරනවා කියලා ජනාධිපතිවරයා අයවැය කතාවෙදි කිව්වනේ. ඒ අනුව ගුරුවරුන්ගේ වැටුපත් වැඩිවෙනවා නේද?


රාජ්‍ය සේවක වැටුප් වැඩි කළේ 2025දී. ඒක කොටස් තුනකට බෙදලා, තුන්වෙනි කොටස 2027දී ලැබෙනවා. ඒ රාජ්‍ය සේවකයන්ට ලැබෙන වැටුපනේ. අපි කතා කරන්නේ ඒ ගැන නොවෙයි. 1997 සිට ගුරුවරු වැටුප් විෂමතාවකට මුහුණ දෙනවා. ඒ සඳහා දී තිබෙන විසඳුම් යෝජනාවට අදාළ වැටුප් වැඩිවීම ගුරුවරුන්ට ලැබිය යුතුයි කියලයි අපි කියන්නේ. ඒ වැටුප් විෂමතාව පිළිබඳව ආණ්ඩුව අවධානය යොමු කරලා නෑ. ඒ ගැන වචනයක්වත් කතා කරන්නෙත් නෑ. ඒකයි අපිට තියෙන ප්‍රශ්නය.


දළ දේශීය නිෂ්පාදිතයන් සියයට හයක් අධ්‍යාපනයට වෙන්කළ යුතුයි කියලා බලයට ඒමට පෙර ජාතික ජන බලවේගයේ ඇතැම් පිරිස් කිව්වා නේද?


ඔව්. අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් වෙන් කළ යුතුයි කියලා ඒ දවස්වල හරිනි අමරසූරිය ඇතුළු බොහෝ දෙනෙක් අරගල කළා. දැන් ඒ අරගල කළ පිරිස ආණ්ඩුවේ ඉහළ තනතුරු දරනවා. හරිනි අමරසූරිය මේ රටේ අග්‍රාමාත්‍යවරිය වගේම අධ්‍යාපන අමාත්‍යවරියයි. බලයට ඒමට පෙර අරගල කරමින් කියූ විදිහට අධ්‍යාපනයට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට හයක් වෙන් කරන්නේ කොහොමද කියලා හොයලා බලන්න එතුමියට යුතුකමක් තිබුණා. ඒත් එහෙම සොයා බැලීමක් කළ බවක් අපිට නම් පේන්නේ නෑ. සියයට හයක කතාව පැත්තකින් තියමුකෝ. අධ්‍යාපනය සඳහා පසුගිය වර්ෂයේ අයවැයෙන් වෙන් කළ මුදල් ප්‍රමාණයටත් වඩා අඩු මුදලක් තමයි මෙවර අයවැයෙන් අධ්‍යාපනයට වෙන්කරලා තියෙන්නේ. සංඛ්‍යාත්මකව කියනවනම් පසුගිය අවුරුද්දේ අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2.3ක් වෙන් කරලා තිබුණා. මේ අවුරුද්දේ වෙන් කරලා තියෙන්නේ සියයට 1.91ක් පමණයි.


2027 වර්ෂය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට සියයට 12 ක් වෙන් කර තිබෙන බවට අධ්‍යාපන අමාත්‍යවරිය කළ ප්‍රකාශය ගැන ඔබේ අදහස මොකක්ද?


ඒ කතාව බොරුවක්. අපි ඉල්ලුවේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් මිස රජයේ සමස්ත වියදමෙන් සියයට හයක් නොවෙයි. 2027 වර්ෂය සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයට රුපියල් බිලියන 749ක් වෙන් කරලා තියෙනවා. එය රජයේ සමස්ත වියදමෙන් සියයට 12.12ක ප්‍රමාණයක් කියලයි අගමැතිවරිය කිව්වේ. ඒ කතාවෙන් අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන්න කියූ කතාව වහන්න බෑ. අධ්‍යාපනයට සියයට හයක් වෙන් කරන්න කියලා අරගල කළ පිරිසම දැන් මේ විදිහට රැවටීම් කරනවා කියන්නේ බරපතළ ප්‍රශ්නයක්. දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 6ක් අධ්‍යාපනයට වෙන් කරන්න කියලා අපි ඉල්ලුවේ නිකම්ම නොවෙයි. පාසලක බිත්තියක තීන්ත ටිකක් ආලේප කරන්න, ඩෙස් එකක් පුටුවක් හදාගන්න වගේ මූලික නඩත්තු කටයුතුවලට පවා අද මව්පියන්ගෙන් මුදල් එකතු කරන්න වෙලා. රජයෙන් පාසල්වලට ලැබෙන ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණවත් නැති නිසයි අද ඒ බරත් මව්පියන් පිට පැටවිලා තියෙන්නේ. අපි සියයට 6ක් ඉල්ලුවේ මව්පියන් මත පැටවී තිබෙන ඒ අසාධාරණ බර නැති කරලා නිදහස් අධ්‍යාපනය සැබෑ ලෙසම සුරක්ෂිත කරන්නයි. අනෙක 2027 වර්ෂය සඳහා වන අයවැය සකස් කළ පිරිසට පාසල් දරුවන්ගේ පෝෂණය ගැනත් අමතක වෙලා.


අය වැය සකස් කළ පිරිසට පාසල් දරුවන්ගේ පෝෂණය අමතක වෙලා කියන කතාවේ තේරුම මොකක්ද ?


2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා සකස් කිරීමේදී පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහන සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරන්න කියලා අපි පැහැදිලිව ඉල්ලීමක් කළා. පාසල් දරුවන්ගේ පෝෂණ වැඩසටහනට ඇතුළත් කරගන්නා ළමුන් සංඛ්‍යාව වැඩි කරන්න කියලා අපි කිව්වා. දැනට මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ සිසුන් මිලියන 1.5කට - 1.6කට වැනි ප්‍රමාණයකට අදාළව පමණයි. ඒ වගේම දැනට එක් දරුවකුගේ ආහාර වේලක් වෙනුවෙන් ගෙවන රුපියල් 110ක මුදල පවතින ජීවන වියදමට අනුව කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. ඒ මුදලත් වැඩි කරන්න කියලා අපි ඉල්ලුවා. නමුත් වෙලා තියෙන්නේ මොකක්ද? 2026 අවුරුද්දේ පාසල් පෝෂණ වැඩසටහන වෙනුවෙන් රුපියල් බිලියන 33.6ක් වෙන් කරලා තිබුණා. ඒත් මේ අවුරුද්දේ අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 30ක් පමණයි. ප්‍රතිලාභීන් සංඛ්‍යාවයි, ගෙවන මුදලයි වැඩි කරන්න කියලා ඉල්ලීම් කරද්දී තිබුණු මුදලෙනුත් බිලියන 3.6ක් අඩු කරලා හරියනවද.


විදුහල්පතිවරුන්ගේ වෘත්තීය ගැටලු සහ දුෂ්කර දීමනා සම්බන්ධයෙන් කළ ඉල්ලීම්වලටවත් ආණ්ඩුවෙන් සුබවාදී ප්‍රතිචාරයක් ලැබුණේ නැද්ද?


නෑ. අපේ මූලික ඉල්ලීම් කිසිවකට සාධාරණ ඇහුම්කන් දීමක් නොමැති බව මේ අයවැය දිහා බැලුවම හොඳටම තේරෙනවා. විදුහල්පතිවරුන් ගත්තොත්, ඔවුන්ව නාමිකව මාණ්ඩලික සේවයක් බවට පත් කරලා තියෙනවා. ඒත් රාජ්‍ය සේවයේ අනෙකුත් මාණ්ඩලික නිලධාරීන්ට හිමිවන කිසිම වරප්‍රසාදයක් හෝ දීමනාවක් විදුහල්පතිවරුන්ට ලැබෙන්නේ නෑ. ප්‍රවාහන, දුරකථන ආදී කිසිම දීමනාවක් නෑ. මේ ආණ්ඩුව අනෙකුත් අයගේ දීමනා ගැන නිතරම කතා කරනවා. ඒත් මේ අයවැය තුළ විදුහල්පතිවරුන්ගේ දීමනා ගැන කිසිම සඳහනක් කරලා නෑ. ඒ වගේම, දුෂ්කර පළාත්වල සේවය කරන ගුරු - විදුහල්පතිවරුන්ගේ දුෂ්කර දීමනාව, එහෙමත් නැත්නම් පැතිරී ඉගැන්වීමේ දීමනාව රුපියල් 15,000ක් දක්වා වැඩි කරන්න කියලත් අපි ඉල්ලීමක් කළා. ඒ ගැනත් කිසිම කතාවක් නෑ. ඇත්තටම මේක ගුරු විදුහල්පතිවරුන්ගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරන අයවැයක්.


2027 වර්ෂය සඳහා වන අයවැයෙන් ගුරු විදුහල්පතිවරුන්ගේ බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා කියලා ඔබ කියනවා. එහෙනම් ඔවුන් නිහඬව ඉන්නේ ඇයි?


ගුරුවරු, විදුහල්පතිවරු නිහඬ නෑ. ඇත්තටම මේ නොසලකා හැරීම් ගැන අපිට ලොකු කනගාටුවක් කලකිරීමක් තියෙනවා. මේ ප්‍රශ්න ගැන අපි දිගටම සියලුම වෘත්තීය සමිති සමග සාකච්ඡා කරනවා. මේ ගැටලුවලට විසඳුම් ගැනීම සඳහා කළ හැකිව තියෙන්නේ මොනවද කියලා අපි තීරණය කරනවා. එහෙම තීරණයක් අරන් අපි අනිවාර්යයෙන්ම ඉදිරියේදී මේ සඳහා ක්‍රියාමාර්ගයක් ගන්නවා. මේ ඇතිවෙලා තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් වගකිවයුත්තන් දැනුම්වත් කරන්න එක් දින සංකේත වැඩ වර්ජනයක් පැවැත්වීමටත් ගුරු විදුහල්පතිවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණයක් අරන් තියෙනවා. ඒ දින වකවානු ඉදිරියේදී කියන්න පුළුවන්.


ජාතික ජන බලවේගය බලයට ගෙන ඒම සඳහා ගුරු- විදුහල්පතිවරු විශාල කැපකිරීමක් කළ බව රහසක් නොවෙයි. බලයට ආ පසුව ආණ්ඩුවට ඔවුන් අමතක වෙලා කියලද ඔබ කියන්නේ?


ඔව්. ආණ්ඩුව සම්පූර්ණයෙන්ම ඔවුන්ව නොසලකා හැරලා තියෙන්නේ. ජාතික ජන බලවේගය පෙරට ආවේ ගුරු විදුහල්පතිවරුන්ගේ අරගල තුළිනුයි. ඔවුන්ට ආණ්ඩු බලය ගැනීමටත් ගුරු විදුහල්පතිවරු විශාල සහයෝගයක් දුන්නා. ඒත් තමන්ට බලයට ඒමට උපකාර කළ පිරිස අමතක කරමිනුයි ආණ්ඩුව දැන් කටයුතු කරන්නේ.


ඒක ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. අනෙක දැන් පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමැතිවරු විසි දෙනෙක් පමණ අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කළ ගුරු - විදුහල්පතිවරු බවත් මතක් කළ යුතුයි. දැන් මේ ඇතිවෙලා තියෙන කනගාටුදායක තත්ත්වය ගැන කතා කරන්න ගුරු විදුහල්පතිවරු වෙනුවෙන් අරගල කළ ඒ පිරිසට යුතුකමක් තියෙනවා. ඔවුන් සාධාරණය වෙනුවෙන් කතානොකර ඉන්නවා පමණක් නෙවෙයි, දැන් අපේ ඉල්ලීම්වලට එරෙහිවත් යනවා.


මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සටන් කළ කණ්ඩායම් අතර ජනතා විමුක්ති පෙරමුණත් ඉදිරියෙන්ම හිටියා. එවැනි පිරිසක් අධ්‍යාපනය සහ ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලු ගැන නොතකා ඉන්නවා කියලා කියන්නේ කොහොමද?


ඇත්තටම අපිටත් ඒක තමයි හිතා ගන්න බැරි. මේ රටේ නිදහස් අධ්‍යාපනය ආරක්ෂා විය යුතුයි සහ අධ්‍යාපනය පුද්ගලීකරණය නොකළ යුතුයි කියලා ජාතික ජන බලවේගයේ බොහෝ දෙනෙක් බලය ගැනීමට පෙර කිව්වා. අනුර දිසානායකයත් ඒ අතර හිටියා. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය නමින් සංවිධානයකුත් හදාගෙන තිබුණේ. පාසල් වහන්න එපා කියලා ඒ සංවිධානයේ සිටි පිරිස උද්ඝෝෂණ කළා. ඒත් බලයට ආ පසුව පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයත් අතුරුදන්. අද ලංකාවේ ළමයි 50ට අඩු පාසල් 1,504ක් තියෙනවා. මේ පාසල් නගාසිටුවීම ගැන මේ ආණ්ඩුවේ කවුරුත් කතා කරන්නේ නෑ. ඒ පාසල් ටික වහලා දාන්නේ කොහොමද කියලයි ආණ්ඩුව හිතන්නේ.


ඒ වගේම අද අධ්‍යාපනය පෞද්ගලීකරණය දිශාවටත් තල්ලු කරමින් තියෙනවා. ගුරු වෘත්තිය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලින් අධ්‍යාපනවේදී උපාධිධාරිය ලත් පිරිස වගේම පෞද්ගලික අංශයේ උපාධිධාරීනුත් බඳවා ගන්න තීරණය කරලා සැප්තැම්බර් 21 වැනිදා ආණ්ඩුව අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කළා. ඒ ගැසට් නිවේදනයේ තිබුණේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාල කියලයි. ඉන් පසුව නැවැත නොවැම්බර් 9 වැනිදාත් ගැසට් එකක් නිකුත් කරලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පිළිගත් හෝ අධ්‍යාපන අමාත්‍යවරිය විසින් අනුමත කරන විශ්වවිද්‍යාල ඇතුළුව යනුවෙන් ඒ අලුත් ගැසට් නිවේදනයේ සඳහන් වෙනවා. ඒ අනුව උපාධි විකුණන කඩවලටත් අධ්‍යාපනවේදී උපාධිය පිරිනමන්න අවස්ථාව දෙන්නයි ආණ්ඩුව මේ සැලසුම් කරන්නේ. ඒත් ඇත්තටම ආණ්ඩුව පතවුණේ පෞද්ගලීකරණයට පක්ෂපාතීව තීන්දු ගන්න නොවෙයි.


අධ්‍යාපනය පෞද්ගලීකරණය කරනවාට විරුද්ධව සටන් කළ පිරිසක් ආණ්ඩු බලය ගත්තාට පසුව පෞද්ගලීකරණයට උඩ ගෙඩි දෙනවා. අධ්‍යාපනය සම්බන්ධ වගකීම පැවැරී තියෙන වගකිවයුත්තන් පවා ඒ සඳහා දායක වීමයි කනගාටුව.


අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන්න අධ්‍යාපන අමාත්‍යවරියත් මැදිහත් වෙනවා කියලද ඔබ ඔය නොකියා කියන්නේ?


පැහැදිලිවම ඔව්. මේ ගැසට් නිවේදන සියල්ලම නිකුත් වෙන්නේ ඇයගේ නමින් සහ ඇයගේ අමාත්‍යාංශයෙන්. සමහර පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් දෙන විවිධ පාඨමාලා පිළිගන්න කියලත් ගැසට් ගහනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු වෘත්තියට බඳවා ගන්න කියලත් ගැසට් එනවා. ඒ ගැසට් නිවේදනය සංශෝධනය කරලා විශ්වවිද්‍යාල පමණක් නොවෙයි, පුද්ගලික අධ්‍යාපන ආයතනවල පිරිසත් බඳවා ගන්නවා. මේ අය අධ්‍යාපනය පෞද්ගලීකරණය වෙනුවෙන් මෙතරම් පෙනී ඉන්නේ ඇයි කියලා අපිට හිතා ගන්න බෑ.


නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙනුත් මේ දවස්වල කතාබහක් තියෙනවා නේද?


ඔව්. මේ දවස්වල 1 සහ 6 ශ්‍රේණි සඳහා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතා කරනවා. ඊට අදාළ ගුරු පුහුණු වැඩසටහනුත් මේ දිනවල පැවැත්වෙනවා. ගුරු මාර්ගෝපදේශ හෝ මොඩියුල දෙන්නේ නැතිවයි ඒ පුහුණු කිරීම් කරන්නේ. එතකොට ඒ පුහුණුවෙන් ප්‍රයෝජනයක් තියෙනවද කියලයි අපි අහන්නේ. අනෙක මේ ආණ්ඩුව දැන් කරගෙන යන්නෙත් ගෝඨාභය රාජපක්ෂ ගෙන ආ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයමයි. ඒ නිසා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදලේ ඉතිරි කොටස ගන්නද ආණ්ඩුව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන්නේ කියන ප්‍රශ්නය අපිට ඇතිවෙනවා. මොකද මේ රටේ ලොකු ටියුෂන් මාෆියාවක් තියෙනවා. ඒකට හෝ ළමයින්ගේ මූලික ගැටලුවලට විසඳුමක් නැත්නම්, මේ ගෙන එන ප්‍රතිසංස්කරණයේ ඵලය මොකක්ද කියලා අපිට නම් තේරෙන්නේ නෑ.

 

More News..