බෙර වාදන ශිල්පී දුෂ්මන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු දෙසැම්බර් 08 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
29 November 2026
බෙර වාදන ශිල්පී දුෂ්මන්ත ඝාතනයේ සැකකරුවන් තිදෙනෙකු දෙසැම්බර් 08 දක්වා රක්ෂිත බන්ධනාගාරයට
29 November 2026
බෙර වාදන ශිල්පියෙකු ලෙස කටයුතු කළ දුෂ්මන්ත සඳරුවන් නැමැති පුද්ගලයා ඝාතනය කර වළදැමූ බව කියන සැකකරුවන් තිදෙනෙකු එළඹෙන දෙසැම්බර් මස 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
දුෂ්මන්ත අතුරුදන්ව දින 06කට පසුව ඊයේ (28) රාත්රී කාලයේ කැස්බෑව පොලිස් ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක සමන් ගමගේ මහතාට පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් දුරකථන ඇමතුමක් ලැබී තිබුණි.
අතුරුදන් වූ දුෂ්මන්තව මංජු නැමැත්තා සහ ඔහුගේ මිතුරන් පිරිසක් විසින් ඝාතනය කර ඇති බව එම ඔත්තුකරු දැනුම් දී ඇත.
සිය බිරිඳට පැවසූ පරිදිම මංජුගේ නිවසට ගිය දුෂ්මන්තව පසුව හෙරළියාවල ප්රදේශයේ පිහිටි දේවාලයක පසුපස කාමරයකට රැගෙන ගොස් පොලුමුගුරුවලින් පහරදී ඝාතනය කර ඇති බවද ඔත්තුකරු හෙළි කර තිබේ.
තවද අලවංගුවක් ආධාරයෙන් අස්ථි බිඳ දුෂ්මන්තගේ මළසිරුර බෑගයක බහා, ඝාතනය කළ ස්ථානයේ සිට මීටර් 500ක් පමණ දුරින් පිහිටි ඇල ඉවුරකට ගෙන ගොස් වළදමා ඇති බවද ඔහු සඳහන් කර ඇත.
ඒ අනුව කඩිනමින් ක්රියාත්මක වූ කැස්බෑව පොලිසියේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ අතර, එහිදී දුෂ්මන්ත සිය යතුරුපැදියෙන් මංජුගේ නිවස දෙසට ගමන් කරන CCTV දර්ශන සොයා ගැනීමට හැකි විය.
ඉන් අනතුරුව ඝාතනයේ ප්රධාන සැකකරු වන මංජු සහ තවත් පුද්ගලයෙකු කහපොළ ප්රදේශයේදීත්, දේවාලය භාර කපුවා හෙරළියාවල ප්රදේශයේදීත් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයෙන් පසු සැඟවීම සඳහා රැගෙන ගොස් තිබූ දුෂ්මන්ත පැමිණි යතුරුපැදිය සහ ඔහුගේ ගමන්මල්ලද සඟවා තිබියදී පොලිසිය මගින් සොයාගෙන තිබේ.
ඝාතනය සිදු කළ ආකාරය දෙවැනි සැකකරු විසින් සිය ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර පසුව මකා දමා ඇති අතර, එම ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතය.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත අතර, දුෂ්මන්තගේ සිරුර අද (29) ගොඩගැනීමට නියමිත බව පොලිසිය පවසයි.


