වියළි කාලගුණය පවතින දිස්ත්‍රික්කවලට ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක්
18 August 2026
වියළි කාලගුණය පවතින දිස්ත්‍රික්කවලට ජලය බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක්
18 August 2026
එල්-නිනෝ දේශගුණික බලපෑමට මුහුණදීම සඳහා අවශ්‍ය පියවර ගැනීම උදෙසා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාගේ සභාපතීත්වයෙන් පත්කළ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ නිලධාරී කමිටුව තෙවැනි වරටත් රැස් වී තිබේ.
ඒ් , ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ය.
සමාජයීය වශයෙන් සෘජුවම බලපෑමට ලක්විය හැකි වැවිලි, කෘෂිකර්ම, වන ජීවී සහ ජල සම්පත් කළමනාකරණ යන අංශවලින් ඉදිරිපත් කළ ක්‍රියාකාරී සැලසුම් සම්බන්ධව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මේ වන විට වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින මඩකලපුව, මොනරාගල, අම්පාර ඇතුළු දිස්ත්‍රික්කවල ජනතාවට අවශ්‍ය පානීය ජලය බෙදා හැරීමේ වැඩපිළිවෙළ සම්බන්ධවද විශේෂ අවධානය යොමු කෙරුණු අතර, එම වැඩපිළිවෙළ දිස්ත්‍රික් ලේකම්වරු මගින් ක්‍රියාත්මක කිරීමටත්, ඒ පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමටත් මෙම කමිටුවේදී තීරණය විය.
වියළි කාලගුණික තත්ත්වය තවදුරටත් පැවතුණහොත් භූගත ජල මට්ටම පහතයාම හමුවේ ගතයුතු ඉදිරි පියවර පිළිබඳවද සාකච්ඡා කෙරිණි.
එල්-නිනෝ තත්ත්වය සම්බන්ධව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරෝකථන කෙරෙහිද අවධානය යොමු කෙරුණු අතර, යම් හෙයකින් බලපෑමකට ලක්වන ක්ෂේත්‍රවල සුරක්ෂිතතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ යුතු වැඩසටහන් පිළිබඳවද වැඩිදුරටත් සාකච්ඡා විය.
එමෙන්ම, එල්නිනෝ නවතම තත්ත්වය පිළිබඳ මාධ්‍ය මගින් ජනතාව දැනුවත්කිරීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කෙරිණි.

