බස්නාහිර උතුර පොලිසිවලට ජංගම දුරකථන තහනමක්
20 January 2026 | ශිරාන් රණසිංහ
බස්නාහිර උතුර පොලිසිවලට ජංගම දුරකථන තහනමක්
20 January 2026 | ශිරාන් රණසිංහ
බස්නාහිර පළාත උතුර දිසාවේ සියලුම පොලිස් ස්ථානවලට බාහිර පුද්ගලයන්ට ජංගම දුරකතන රැගෙන යාම තහනම් කර තිබේ
බස්නාහිර පළත උතුර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහගේ නියෝගයක් මත මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කර ඇත.
මේ තීරණය හේතුවෙන් පොලිස් ස්ථානවල විමර්ශන නිලධාරින් සේම පොලිස් ස්ථානවලට සිය කටයුතුවලට යන සෑම දෙනකුම දැඩි අසීරුතාවකට පත්ව ඇති බවට තොරතුරු වාර්තා වී ඇත.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් පොලිසියෙන් වන අසාධාරණකම් ගැන මහජනතාවට පටිගත කළ හැකි බවට චක්‍රලේඛයක් මගින් නියෝග කර ඇති පසුබිමක අනීතික අන්දමින් මෙම ක්‍රියාවලිය සිදුකර ඇති බවද මෙයින් පොලිසියේ විමර්ශන නිලධාරින්ට සේම පොලිසියේ දඩ මුදල් ගෙවිමට හෝ වෙනත් සුළු පැමිණිලි කිරීමට යන ජනතාවටද දැඩි අසීරුතාවකට ලක්වීමට සිදුව ඇත.
උදෑසන පොලිසියේ ගේට්ටුව අසල නිලධාරින් කිහිප දෙනකු යොදවා පැමිණෙන පුද්ගලයන්ගේ නම් හා ජාතික හැඳුනුම්පත් සටහන් කරගනිමින් ජංගම දුරකතන ඔවුන් භාරයට ගෙන ටෝකන් අංකයක් සහ අවසර පත්‍රයක් ලබාදීම මෙම දිසාවේ පොලිස් ස්ථාන සියල්ලකම පාහේ සිදුවන බවද ඇතැම් පොලිස් ස්ථානවලට පොලිස් නිලධාරින්ගේ යතුරුපැදි පවා ඇතුළු කිරීම තහනම් කර ඇති බවටද පොලිස් නිලධාරිහු කියා සිටිති.
මේ තත්ත්වය නිසාම පොලිස් ස්ථානවල ගේට්ටුව අසල අනවශ්‍ය පෝලිම් නිර්මාණය වී ඇති බවද එම නිලධාරිහු කියා සිටිති.
මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාලිංග ජයසිංහගෙන් අරුණ කළ විමසීමකදී කියා සිටියේ තම බල ප්‍රදේශයේ සියලුම පොලිස් ස්ථාන තුළට ජංගම දුරකතන ගෙන යාම තහනම් කිරීමට උපදෙස් ලබා දුන් බවයි. එම තීරණය ගනු ලැබුවේ පැමිණිලිකරුවන් හා වින්දිතයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් බවද ඔහු කියා සිටියේය.
ඇතැම් පුද්ගලයන් පොලිස් ස්ථානවලට පැමිණ විමර්ශන කටයුතුවලට බාධා වන අයුරින් වීඩියෝ ගත කිරීම් සහ ඡායාරූප ගැනීම් හා හඩපට සටහන් කරගෙන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීම නිසා විමර්ශනවලට සිදුවන බලපෑම් මත මෙම පියවර ගත් ඒ බව පොලිස්පතිවරයාටද දැනුම් දී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීවේය.

