brand logo
logo
ඒඩ්ස් වළක්වන අලුත් එන්නතක් ලබන වසරේදී හඳුන්වා දෙනවා

ඒඩ්ස් වළක්වන අලුත් එන්නතක් ලබන වසරේදී හඳුන්වා දෙනවා

20 October 2026 | ශ්‍රියානි විජේසිංහ

ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිතයන්ගේ සංඛ්‍යාව සහ නව ආසාදන වාර්තාවීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ එක්සත් ජාතීන්ගේ ඒඩ්ස් මර්දන වැඩසටහන තහවුරු කරයි. මෙලෙස එච්.අයි.වී. ආසාදිතයන් ඉහළ යාම වසංගතයක් දක්වා වර්ධනය විය හැකි බවටද වෛද්‍යවරු අනතුරු අඟවති. මෙම වයිරසය ආසාදිත එක් කාන්තාවක වාර්තා වන විට පිරිමි පුද්ගලයන් හත්දෙනකු වාර්තා වීමේ සම්භාවිතයක් වර්තමානයේදී පවතින බවද කියැවෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ලිංගික සෞඛ්‍ය සහ එච්.අයි.වී. පිළිබඳ වෛද්‍යවේදීන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය සමග "අරුණ" කළ සාකච්ඡාවකි මේ.


ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී. ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් වී තිබෙන බව කියැවෙනවා. ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කළොත්?


2024 වර්ෂයේදී එච්.අයි.වී. ආසාදිතයන් 824ක් සහ 2025 වර්ෂයේදී ආසාදිතයින් 874ක් හඳුනාගෙන තියෙනවා. 2026 වර්ෂයේ පළමු කාර්තු දෙකේදී පමණක් එච්.අයි.වී. ආසාදිතයන් 450කට ආසන්න සංඛ්‍යාවක් හමුවුණා. ඉතිරි කාර්තු දෙකත් අවසන් වන විට 2024, 2025 වර්ෂවලදී හමුවුණාට වඩා වැඩි ආසාදිතයන් සංඛ්‍යාවක් හමුවෙන්න ඉඩ තියෙනවා. 2021 වර්ෂයට පෙර එච්.අයි.වී. ආසාදිතයන් මෙපමණ වැඩිවීමක් දකින්න ලැබුණේ නැහැ. කොවිඩ් වසංගතය නිසා පරීක්ෂණ කරගන්න සායන වෙත පැමිණෙන සංඛ්‍යාව අඩුවුණා. 2023දී ආසාදිතයන් සංඛ්‍යාවේ පොඩි වැඩිවීමක් තිබුණා. 2021 වර්ෂයේදී පරීක්ෂණවලට එන්න බැරි වුණු රෝගීන් පරීක්ෂණ සඳහා පැමිණි නිසා 2023 වර්ෂයේදී ආසාදිතයන් සංඛ්‍යාව වැඩි වුණා කියලා අපි හිතුවා. නමුත් 2024, 2025 වර්ෂවල පෙරට වඩා එච්.අයි.වී. ආසාදිතයන් සෑහෙන සංඛ්‍යාවක් වැඩිවෙන්න ගත්තා. මේ වසරේ ජූනි මාසය වන විට ආසාදිතයන් 450කට ආසන්න සංඛ්‍යාවක් ඉන්නවා. මේ වර්ෂය අවසන් වන විට ඒ සංඛ්‍යාව තවත් වැඩි නොවී තියෙයි කියන්න බැහැ. 2025 වර්ෂයට සාපේක්ෂව 2026 වර්ෂය අවසන් වන විට අනිවාර්යෙන්ම එච්.අයි.වී ආසාදිතයින් සංඛ්‍යාවේ වැඩිවීමක් වෙයි කියලා අපි අනුමාන කරනවා. ඒ වගේම මේ වන විට අලුතෙන් හඳුනාගන්නා රෝගීන් සංඛ්‍යාවත් එන්න එන්නම වැඩිවීමක් පෙන්නුම් කරනවා. ඇත්තටම කිව්වොත් දැන් මේ තත්ත්වය වසංගත තත්ත්වයක් දක්වාම වර්ධනය වී ඇති බවක් තමයි පේන්න තියෙන්නේ.


එච්.අයි.වී. වැඩිපුරම සම්ප්‍රේෂණය වුණේ ලිංගික සම්බන්ධතාවන්ගෙන්. කොවිඩ්වලින් පසුව අන්තර්ජාලය ලොකු කුඩා සියලු දෙනාටම ඉතා සමීප වුණා වගේම එය සියලු දෙනාටම විවෘත වුණා. මේ නිසා සමාජ මාධ්‍යවලට ඉතා පහසුවෙන් ප්‍රවේශ වෙන්නත් හැකියාව ලැබුණා. විවිධ යෙදවුම් හරහා සහකරුවෙක් හෝ සහකාරියක් සොයාගැනීමත් ඒත් සමග ඉතාමත් පහසු වූ බවක් පේන්න තියෙනවා. ලිංගික ශ්‍රමික කාන්තාවන් මාර්ගගත ක්‍රමයට ඔවුන්ට අවශ්‍ය සහකරුවා සොයාගැනීමට පෙළඹුණා. කොවිඩ්වලින් පසුව අපට ඇති වූ බරපතළම අවදානම මෙයයි.


ඉන්පසුව ලංකාවට ඇති වූ ආර්ථික අර්බුදයත් සමග ස්පා, සම්බාහන මධ්‍යස්ථාන ආදිය විශාල වශයෙන් බිහි වුණා. මේ ආයතනවල ලිංගික ශ්‍රමික කාන්තාවන් වැඩ කළා. ඒකත් එච්.අයි.වී. පැතිරෙන්න හේතු වූ බව කියන්න පුළුවන්. අනෙක පසුගිය වසර දෙක තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන පිරිසේ සැලකිය යුතු වැඩිවීමක් අපි දැක්කා. එහෙම වෙන්න හේතුව මොකක්ද කියලා නම් අපි හරියටම දන්නේ නැහැ. කොහොම වුණත් ඒ මත්ද්‍රව්‍ය භාවිත කළාට පසුව පුද්ගලයන්ගේ සිහිකල්පනාව හොඳටම නැතිවෙනවා. එවිට අනාරක්ෂිත ලිංගික කටයුතුවලට යොමුවීමට තිබෙන ඉඩ වැඩිවෙනවා.


අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙන බව කියන්න හේතුව මොකක්ද?


ප්‍රතිකාර සඳහා අපේ සායනවලට පැමිණෙන පිරිසගෙන් අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න කරනවා. අයිස් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පිරිසේ වැඩිවීමක් වෙලා තිබෙන බව දැන ගත්තේ එවැනි ප්‍රශ්න කිරීම්වලිනුයි. සමහර පුද්ගලයන් මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීමටත් කටයුතු කරනවා. මේ විදිහට මත්ද්‍රව්‍ය එන්නත්කරගන්නා යම් පුද්ගලයෙක් එච්.අයි.වී. ආසාදිතයෙක් කියලා හිතමුකෝ. ඔහු මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා කටුවම තවත් පුද්ගලයින් කිහිප දෙනෙක් භාවිත කළොත් ඔවුන් සියලු දෙනාට එච්.අයි.වී. වයිරසය ආසාදනය වීමේ බරපතළ අවදානමක් තියෙනවා. මත්ද්‍රව්‍ය එන්නත් කරගැනීම හරහා එච්.අයි.වී. පැතිර ගියොත් එය වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම අයිස් මත්ද්‍රව්‍ය භාවිත කිරීම තුළින් ලිංගික උත්තේජනයක් ලැබෙන බවට මිථ්‍යා විශ්වාසයකුත් තියෙනවා. මේ විශ්වාසය මත ඇතැමුන් මත්ද්‍රව්‍ය භාවිත කරලා සමූහ වශයෙන් ලිංගික ක්‍රියාවන්හි දින කිහිපයක් යෙදෙන අවස්ථා තියෙනවා. මෙවැනි අවස්ථාවන්හිදීත් වයිරසය ආසාදනය වෙන්න පුළුවන්. අනෙක ලිංගික ශ්‍රමික කාන්තාවන් අතරත් අද මත්ද්‍රව්‍ය භාවිතයේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඔවුන් මත්ද්‍රව්‍ය භාවිත කරලා ලිංගික කටයුතුවල යෙදෙන බවටත් අපට තොරතුරු ලැබෙනවා. ලිංගික ශ්‍රමික කාන්තාවන් පමණක් නොවෙයි අද පිරිමි පුද්ගලයනුත් සමලිංගික කටයුතුවල යෙදෙනවා. එච්.අයි.වී පාලනය කිරීම අපහසු වෙලා තියෙන්නේ මේ හේතු නිසයි.


මේ වන විටත් සමාජය තුළ හඳුනානොගත් එච්.අයි.වී .ආසාදිතයන් සංඛ්‍යාවක් ඉන්නවා නේද?


අනිවාර්යයෙන්ම ඉන්නවා. අපි මේ වන විට හඳුනාගෙන තිබෙන්නේ ආසාදිතයන් 5748ක් වගේ සංඛ්‍යාවක් පමණයි. නමුත් ඇස්තමේන්තු කර තිබෙන පිරිස 8700ක් පමණ වෙනවා. අපේ සායන වෙත පැමිණ පරීක්ෂා කරගන්නා අය, විදේශගත වන විට කරන රුධිර පරීක්ෂාවලින් හඳුනාගන්නා අය, පෞද්ගලික රෝහල් සහ අනෙකුත් රෝහල් වෙත ගොස් පරීක්ෂා කරගන්නා අය, අවදානම් කණ්ඩායම් වෙත ගොස් පරීක්ෂා කර සොයාගන්නා අය, රුධිර පාරවිලයනයේදී සොයාගන්නා අය ආදියේ එකතුවයි අපි මේ 5748ක් කියලා කියන්නේ. මීට අමතරව හඳුනා නොගත් එච්.අයි.වී. ආසාදිතයන් සමාජය තුළ ඉන්න පුළුවන්.


පිරිමි පුද්ගලයන් එච්.අයි.වී.වලට ගොදුරු වීමේ අවදානම ඉහළ ගිහින් තියෙනවා කියන කතාව ඇත්තද?


මේ වන විට හඳුනාගෙන තිබෙන රෝගීන්ගෙන් වැඩි දෙනෙක් පිරිමි පුද්ගලයන්. එච්.අයි.වී. ආසාදිත එක කාන්තාවක් හමුවන විට ආසාදිත පිරිමි පුද්ගලයින් හත්දෙනෙක් හඳුනාගන්නවා. පිරිමි සමලිංගික සබඳතා ඉහළ යාමයි මේ වැඩිවීමට ප්‍රධානම හේතුව. පිරිමි සමලිංගිකයන් එම සබඳතා පවත්වන්නේ ගුද මාර්ගය හරහායි. ගුදය කියන්නේ ලිංගික කටයුතු සඳහා නිර්මාණය වූ මාර්ගයක් නොවෙයි. එච්.අයි.වී ආසාදිතයෙකු සමග ගුද සංසර්ගයේ යෙදෙන විට එම ස්ථානය තුවාල වුණොත් වයිරස්වලට පහසුවෙන් ඇතුළු වීමේ හැකියාව තියෙනවා. නමුත් යෝනි සංසර්ගයකදී එහෙම වෙන්නේ නැහැ.


වැඩිපුරම එච්.අයි.වී.වලට ගොදුරු වී සිටින්නේ කුමන වයස් කාණ්ඩයක පිරිසක්ද?


ශ්‍රම බලකායට සක්‍රීය දායකත්වයක් ලබා දෙන කණ්ඩායම් අතර මෙම රෝගය වැඩිපුර දක්නට ලැබෙනවා. ඒ අනුව අවුරුදු 20-40 වයස් සීමාවන්හි අය වැඩි වශයෙන් සිටිනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම අවුරුදු 15-24 වයස් කාණ්ඩවල සිටින ඇතැම් පිරිස්වලටත් මේ රෝගය ආසාදනය වෙලා තියෙනවා. සෑම වසරකම සොයාගන්නා නව ආසාදිතයන්ගෙන් සියයට 12-15ක්ම අවුරුදු 15-24 වයස් කාණ්ඩයට අයත් වූවන්. පාසල් දරුවන් හා පාසලෙන් ඉවත් වූ දරුවන් අතර මේ රෝගය කොපමණ සුලබව පැතිර ගොස් තිබෙනවාද කියන කාරණය මේ සොයා ගැනීම්වලින්ම තේරෙනවානේ.


අපේ රටේ සෞඛ්‍ය අංශ එච්.අයි.වී. ගැන කාලාන්තරයක් තිස්සේම ජනතාව දැනුම්වත් කරනවා. ජනතාව අතරට ගිහින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. නමුත් තවමත් එච්.අයි.වී ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් වෙලා නෑ නේද?


රෝගීන්ට ප්‍රතිකාර කරනවාට අමතරව අපි මේ රෝගය වළක්වන්නේ කොහොමද කියලත් ජනතාව දැනුම්වත් කරනවා. ඒත් ඔබ කියූ ආකාරයටම එච්.අයි.වී. ආසාදිතයන් වාර්තා වීමේ අඩුවීමක් වෙලා නැහැ. අපේ සන්නිවේදනයේ යම් අඩුවක් නිසා රෝගයට ගොදුරු වන පිරිස වැඩි වුණාද දන්නේ නැහැ. ඒ නිසා අපේ සන්නිවේදන කටයුතු තවත් පුළුල් විය යුතුයි කියලයි මම හිතන්නේ.


කොහොම වුණත් දැනුම්වත් කිරීම් හා ප්‍රතිකාර නව ආරකින් පටන්ගැනීමට අපි නොබෝ දිනකින්ම කටයුතු කරනවා. අපේ සායන තුළ හෙපටයිටිස් බී සහ සී පරීක්ෂාවනුත් කරනවා. ඒ වගේම මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා සායනය වෙත කිසියම් රෝග තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණියොත්, එය අවස්ථාවක් කරගෙන එච්.අයි.වී. සඳහාත් අවශ්‍ය රුධිර පරීක්ෂාවනුත් කිරීමට කටයුතු කරනවා. එහිදී එච්.අයි.වී. ආසාදිතයෙක් සිටින බව දැනගන්න ලැබුණොත් ඒ පුද්ගලයාට අවශ්‍ය ප්‍රතිකාරය කඩිනමින් දීලා අවශ්‍ය දැනුම්වත් කිරීම් කරනවා.


එච්.අයි.වී. ආසාදිතයන් සඳහා වන ප්‍රතිකාර ගැනත් කතා කරමු?


ඉතාමත් පහසු ප්‍රතිකාරයි කරන්නේ. මේ ප්‍රතිකාර මගින් කෙරෙන්නේ රෝගය සම්පූර්ණයෙන්ම පාලනය කිරීමක්. රෝගය පාලනය වීම තුළ එම රෝගියාට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න කිසිම බාධාවක් ඇතිවෙන්නේ නැහැ. රෝගය පාලනය වූ පසුව ඔහුගෙන් තවත් පුද්ගලයෙකුට රෝගය වැලඳෙන්නේත් නැහැ. දිනකට එක බෙහෙත් පෙත්තයි ගන්න තියෙන්නේ. අතුරු ආබාධ ඇත්තේම නැති තරම්. මෙහිදී අපි අවදානමකට පෙර ගන්න තියෙන ප්‍රතිකාර සහ අවදානමකට පසු ගන්න තියෙන ප්‍රතිකාර ගැනත් දැනුම්වත් කරනවා. ලබන වසරේදී පමණ එන්නතක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා. තවත් විදිහකට කියනවා නම් අවදානමට පෙර ගන්න තිබෙන ඖෂධ වෙනුවට, වසරකට දෙවරක් ගත හැකි එන්නතක් ලබන වසරේදී හඳුන්වා දෙන්න යනවා. අවදානම් ලිංගික චර්යාවන්හි යෙදෙන පුද්ගලයන් සහ මත්ද්‍රව්‍ය එන්නත් කරගන්නා පුද්ගලයන්ට එම එන්නත දීමටත් කටයුතු කරනවා.


ප්‍රතිකාර ගැනීම සඳහා සායන වෙත පැමිණෙන එච්.අයි.වී. ආසාදනය වූ පුද්ගලයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කරන බවට සහතිකයක් තියෙනවද?


දිවයින පුරාම ලිංගික සායන 40ම තිබෙනවා. එහි සේවය කරන වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම විශේෂයෙන් පුහුණු වූ අයයි. අපේ දත්ත පද්ධතිය ඉතාමත් ආරක්ෂිතයි. කිසිම විදිහකින් අපේ සායන වෙත පැමිණෙන රෝගීන්ගේ වෛද්‍ය වාර්තා හෝ තොරතුරු වෙනත් පුද්ගලයකු අතට පත්වෙන්නෙ නෑ. ඇත්තටම කිව්වොත් ඒ තොරතුරු තව කෙනෙක් අතට යන්න ඉඩක් ඇත්තේම නැහැ.


 

More News..