brand logo
logo
ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගවලට මෙරටින් 7 දෙනෙක්

ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං තරගවලට මෙරටින් 7 දෙනෙක්

16 September 2026


ජපානයේ අයිචි-නගෝයාහි පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා මෙරට නියෝජනය කරමින් බොක්සිං පිරිමි සහ කාන්තා ඉසව් සඳහා 7 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වීමට නියමිතය. ඒ සඳහා ක්‍රීඩකයන් 4 දෙනකු සහ ක්‍රීඩිකාවන් 3 දෙනකු සහභාගි වෙති.


මෙහිදී මෙරට ක්‍රීඩකයන් අතුරින් කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් රුක්මාල් ප්‍රසන්න තරග වදින අතර ඔහු ජාත්‍යන්තර අත්දැකීම් සහිත තරගකරුවෙක් වන අතර මින් පෙර පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා ද තරග වැදී ඇත්තෙකි. කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් රවිඳු ජයනාත් තරග වැදීමට නියමිතය. පසුගිය පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ ඉහළ දක්ෂතා දැක්වීමට සමත් වූ රවිඳුට අර්ධ අවසන් පූර්ව වටයේදී ලද ආන්දෝලනාත්මක විනිසුරු තීරණයක් හේතුවෙන් පරාජයට පත්වීමට සිදු විය. මේ අතර කිලෝග්‍රෑම් 70 බර පන්තියේ තරග වදින ලක්මාල් චන්ද්‍රබණ්ඩාර ද ප්‍රබල තරගකරුවෙක් වන අතර 'මිඩ්ල්වේට්' බර පන්තියේ ජාතික ශූරයකි. මෙරට වෙනුවෙන් තරග වදින අනෙක් ක්‍රීඩකයා වන මොහොමඩ් උසෙයිත් කිලෝග්‍රෑම් 80 බර පන්තියෙන් තරග වදියි. ඔහු මෙරට පැවැති වයස අවුරුදු 23න් පහළ ආසියානු බොක්සිං තරගාවලියේදී රිදී පදක්කම හිමිකර ගනිමින් දස්කම් දැක්වීමට සමත් වූයේය.


මේ අතර මෙරට නියෝජනය කරන ක්‍රීඩිකාවන් අතරට කිලෝග්‍රෑම් 51 බර පන්තියෙන් නදීකා පුෂ්පකුමාරි තරග වදින අතර ඇය පසුගිය පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවකි. එසේම කිලෝග්‍රෑම් 54 බර පන්තියෙන් කේෂානි හංසිකා ද ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවකි. කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් තරග වදින ශ්‍රීමාලි කුරේ ද ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩිකාවක් වෙයි.


මෙම තරගාවලිය සඳහා එක්වන නිලධාරීන් අතර කොමදෝරු එම්.ඒ.එල් පෙරේරා කණ්ඩායම් කළමනාකරු ලෙස එක්වද්දී, ප්‍රධාන පුහුණුකරු ලෙස අමිල අරවින්දත්, පුහුණුකරු ලෙස සජීව දසනායකත්, සහය පුහුණුකරු ලෙස ජමිත ගයාන් බණ්ඩාරත් එක්වෙති. මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග එළැඹෙන 20 වැනිදා සිට ආරම්භ වීමට නියමිතය.


කෙසේ වෙතත් මෙම තරගාවලිය සඳහා සුදුසුකම් ලැබූ ක්‍රීඩකයෙක් නිසි ක්‍රමවේදයෙන් තොරව එක්ව ඇති බවට ක්ෂේත්‍රයේ ප්‍රවීණයක්ගෙන් චෝදනා එල්ල වුවද බොක්සිං සංගමය එය ප්‍රතික්ෂේප කළේය.

 

More News..