brand logo
logo
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක්

02 November 2026


අද (02) පස්වරුවේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.


ඒ අනුව අනුරාධපුර, අම්පාර, කළුතර, කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල, මඩකලපුව, මහනුවර, මාතර, මාතලේ, මුලතිව්, මොනරාගල, රත්නපුර, වවුනියාව සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල සවස් කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


එම වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බැවින් එළිමහන් ක්‍රියාකාරකම්වල නිරතවීමෙන් වළකින ලෙස ද මහජනතාවට උපදෙස් දී තිබේ.


එමෙන්ම, ප්‍රාදේශීය වශයෙන් විදුලි බිඳවැටීම් මෙන්ම විදුලි උපකරණවලට හානි සිදුවීමේ අවදානමක් ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


අකුණු පවතින අවස්ථාවලදී එළිමහනේ හෝ ගස් යට රැඳී නොසිට ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ හෝ වසා ඇති වාහනයක් තුළ රැඳී සිටින ලෙස ද ජනතාවට උපදෙස් දී ඇත.


කුඹුරු, තේ වතු, ක්‍රීඩාපිටි සහ ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින ලෙස ද එම උපදෙස්වල සඳහන් වේ.


තවද, රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කර ඇති විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසත්, බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිත නොකරන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.


තද සුළං හේතුවෙන් ගස් සහ විදුලි රැහැන් කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් ඒ පිළිබඳව ද අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.

 

More News..