brand logo
logo
ඩෙංගු සුවයට වැදගත්ම නිවැරැදි ප්‍රතිපදාවයි

ඩෙංගු සුවයට වැදගත්ම නිවැරැදි ප්‍රතිපදාවයි

01 August 2026 | රණහංසී රණවීර

මේ දිනවල සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය වැලඳුණු අයෙක් ආරක්ෂිතව සහ ඉක්මනින් සුවපත් කරගැනීම සඳහා බටහිර මෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රම දෙකෙහිම වැදගත් උපදෙස් රැසක් පවතී. මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ පිළිබඳවය.


 ඩෙංගු රෝගයේ විද්‍යාත්මක පසුබිම ගැන නිවැරැදි අවබෝධයක් තිබේ නම් සහ නියමිත වෙලාවට වෛද්‍ය උපදෙස් කරා යොමු වීමෙන්, මෙය ඉතාමත් සාර්ථකව කළමනාකරණය කරගත හැකි තත්ත්වයකි.

ඩෙංගු රෝගය වැලඳුණු අයකුගේ සිරුර අභ්‍යන්තරයේ ක්‍රියාවලිය


එය සරලව මෙසේ පැහැදිලි කළ හැකියි. ඩෙංගු වයිරසය රුධිරයට එකතු වූ පසු, අපේ සිරුරේ තිබෙන ආරක්ෂක හමුදාව (ප්‍රතිශක්තිකරණ පද්ධතිය) මේ ආගන්තුක වයිරසය හඳුනාගෙන ඊට එරෙහිව දැවැන්ත සටනක් ආරම්භ කරයි. මේ සටනේ ප්‍රතිඵලයක් ලෙස එක්වරම තද උණක් පැමිණේ. එමෙන්ම වයිරසය අපේ මාංශපේශී සහ සන්ධිවලට බලපෑම් කරන නිසා තදබල ඇඟපත වේදනාවකුත් හටගනී.


හොඳින් විවේක ගෙන, නියමිත මාත්‍රාවට පැරසිටමෝල් පමණක් බී, හොඳින් දියර වර්ග පානය කිරීමයි කළයුතු වන්නේ.


ඩෙංගුවල දියර කාන්දු වන අවධියක් ලෙස හඳුන්වන තත්ත්වයක් ඇත. මෙය සෑම ඩෙංගු රෝගියාටම ඇති නොවේ. ප්‍රතිශක්තිකරණ පද්ධතිය වයිරසය විනාශ කීරීමට නිපදවන ඇතැම් රසායනික ද්‍රව්‍ය නිසා අපේ රුධිර නාළ (කේශනාළිකා) වල බිත්තිවල යම් වෙනස්කම් හේතුවෙන් ඒවායේ සිදුරු ස්වභාවයක් ඇතිවෙයි. මේ නිසා රුධිරයේ ඇති දියර කොටස (ප්ලාස්මාව) රුධිර නාළවලින් පිටතට,එනම් පෙණහලු වටා සහ උදර කුහරය වැනි තැන්වලට කාන්දු වීමට ගනී.


දියර කාන්දු වීම නිසා නහර ඇතුළේ ඇති ලේ උකු වෙයි. එසේම රුධිර පට්ටිකා වේගයෙන් විනාශ වීමත් සිදුවෙයි.


මේ කාන්දු ඇත්තේ පැය 48ක වැනි කෙටි කාලයකි. ඉන්පසු සිදුරු ඉබේම වැසී යයි.

රෝහලේ දී දියර ප්‍රමාණ මනිමින් රෝගියාට දෙන්නේ එසේ කාන්දු වන දියර ප්‍රමාණය ගණනය කර, නිවරැදිම ලෙස එයට සරිලන ආකාරයට දියර වර්ග /සේලයින් දී රුධිර පීඩනය අඩුවීමට නොදී තබාගැනීමටයි.

දියර කාන්දු වීම නිසි ලෙස පාලනය කිරීමට නොහැකිවීමෙන් තත්ත්වය බරපතළ විය හැකි බැවිනි. නමුත් සාමාන්‍ය ඩෙංගු උණ වැලඳෙන සැමටම මේ බරපතළ තත්ත්වය හට නොගනී.

ප්ලාස්මා කාන්දුවීම ඉතා දරුණු වුවත්, ඇඟේ රුධිර පීඩනය එක්වරම පහළ බසී. මේ තත්ත්වයට අප හඳුන්වන්නේ Dengue Shock Syndrome ලෙසිනි.

රුධිර පට්ටිකා ඉතාම අඩු වීම සහ ලේ කැටි ගැසීමට උදව් වන සාධක කාන්දු වීම නිසා, ආමාශයේ හෝ බඩවැල්වල අභ්‍යන්තර රුධිර වහනයන් ඇතිවීමේ හැකියාවක් ඇත. ඩෙංගු රක්තපාත උණ ලෙස සලකන්නේ මෙම තත්ත්වයයි.


ඩෙංගු රෝගියකුට සුදුසු ආහාර පාන

නිවැරැදි පෝෂණය සහ දියර දීම රෝගය ඉක්මනින් සුව වීමට බලපායි.

1. ජීවනී සහ තැඹිලි

ජලය ශරීරයට අත්‍යවශ්‍ය ලවණ නැවත සිරුරට දීමට ජීවනී ඉතාමත් යෝග්‍යයයි. තැඹිලි ජලයේ අඩංගු ස්වභාවික ඛනිජ ලවණ ද සිරුරේ සමතුලිතතාවය රැකගැනීමට උපකාරී වේ.

2. කැඳ වර්ග සහ සුප්

රෝගියාට ඝන ආහාර ගැනීමට අපහසු නම්, ලවණ සහ ශක්තිය එකවර ගත හැකි හොඳම මාධ්‍යයක් වන්නේ කැඳ සහ සුප් ය.

3. ඝන ආහාර

රෝගියාට ආහාර ගැනීමේ අපහසුවක් නැති නම් සමබල ආහාර වේලක් ගැනීම ඉතා හොඳය.

මේ ආහාර පාන දීමෙන් අනිවාර්යයෙන්

වැලකිය යුතුය!

රතු සහ දුඹුරු පැහැති ආහාර (ඇපල්, මිදි, චොකලට්, රතු පැහැති ජෙලි, බීට්රූට්)

ඩෙංගු රෝගය උත්සන්න වූවිට කලාතුරකින් ආහාර මාර්ගයෙන් රුධිර වහනය වීමේ අවදානමක් ඇත. රෝගියා රතු හෝ දුඹුරු පැහැති ආහාර ගෙන තිබේ නම්, වමනය හෝ මලපහ සමග ලේ පිටවේ දැයි හඳුනාගැනීම අපහසු වෙයි. එනිසා එවැනි වර්ණ සහිත දේ රෝගියාට දීමෙන් වැළකිය යුතුයි.

ගස්ලබු කොළ යුෂ පානය 

ඩෙංගු සුව කරයිද !

අද සමාජයේ බහුලව කතාබහට ලක්වෙන මාතෘකාවකි. වෛද්‍ය විද්‍යාත්මක පර් යේෂණවලට අනුව, ගස්ලබු කොළ සාරය මගින් රුධිර පට්ටිකා වර්ධනය වීමට යම් උත්තේජනයක් ලැබෙන බව සොයාගෙන ඇත. නමුත් අප තේරුම් ගතයුතු ප්‍රධානම කාරණය වන්නේ, ඩෙංගු රෝගයේ ප්‍රධානතම සංකූලතාවය වන 'ප්ලාස්මා කාන්දුව' නතර කිරීමට මෙමගින් කිසිදු දායකත්වයක් නොලැබෙන බවයි. පට්ටිකා ප්‍රමාණය වැඩි වූවද රෝගියා ආරක්ෂිත යැයි නිගමනය කළ නොහැකියි.

ඩෙංගු රෝගය විද්‍යාත්මකව සහ ක්‍රමානුකූලව කළමනාකරණය කරනවා නම්, ජීවිත අවදානමකින් තොරව සුව කරගත හැකි රෝගයකි. දින දෙකකට වඩා උණ තිබේ නම්, අත්බෙහෙත්වලට සීමා නොවී වහාම වෛද්‍ය උපදෙස් ගැනීම ඉතා වැදගත් ය.

අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඩෙංගු වයිරසය පරාජය කිරීමේ හැකියාවක් ඇත. අපි කළ යුතු වන්නේ වෛද්‍ය උපදෙස් සහ යහපත් ආහාර රටාවක් හරහා ශරීරයට අවශ්‍ය සහයෝගය දීම පමණි.


බටහිර වෛද්‍ය විද්‍යාවට අමතරව, වසර දහස් ගණනක ඉතිහාසයක් ඇති ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුළ ද ඩෙංගු රෝගයේ ලක්ෂණ, ඊට හේතු සහ රෝගියා සුවපත් කිරීමේ මූලධර්ම ඉතා පැහැදිලිව විස්තර කර ඇත.

ආයුර්වේදයේ ඩෙංගු රෝගය ඍජුවම ජ්වර ගණයට ඇතුළත් කෙරේ.

දෝෂ කෝප වීම: ඩෙංගු රෝගයේදී ප්‍රධාන වශයෙන් වාත සහ පිත්ත දෝෂයන් කෝපයට පත් වේ. අධික උණ, ඇඟපත වේදනාව වාත දෝෂයේ බලපෑම නිසාද, දැවිල්ල, පිපාසය සහ රුධිරයේ ඇතිවන වෙනස්කම් පිත්ත දෝෂයේ බලපෑම නිසාද හටගනී.

රක්ත ධාතු දූෂණය: වයිරස් ආසාදනය නිසා සිරුරේ රක්ත ධාතුව (රුධිරය) සහ රස ධාතුව දූෂණය වේ. ආයුර්වේදයට අනුව රක්ත පට්ටිකා අඩුවීම සහ අභ්‍යන්තර රුධිර වහන තත්ත්වයන් ඇතිවන්නේ පිත්ත දෝෂය අධික ලෙස කෝප වී රක්ත ධාතුව දූෂණය වීමෙනි.

ඩෙංගු රෝගියකු ආරක්ෂා විය යුතු ආකාරය

වයිරස් ආසාදන සදහා බොහෝ වේලාවට එන්නත් නොමැතිවීමත් ප්‍රතිකාර වෙනුවට පාලනයක් පමණක් තිබීම ඩෙංගු රෝගයේ අවදානම වැඩීවීමට එක් හේතුවකි. එනිසා ඩෙංගු රෝගියකුගේ ජීවිතය සුරක්ෂිත කරගැනීම සඳහා ප්‍රතිකාර සේම නිවැරැදි ආරක්ෂිත පියවර අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වේ.

පූර්ණ ශාරීරික හා මානසික විවේකය: රෝගියා නිරන්තරයෙන් ඇඳ විවේකයේ සිටිය යුතුය. අධික ලෙස වෙහෙස වීමෙන් රුධිර පට්ටිකා මට්ටම තවත් පහළ යා හැකි අතර අභ්‍යන්තර රුධිර වහනය වීමේ අවදානම වැඩි වේ.

මදුරු දෂ්ටනයෙන් ආරක්ෂා වීම: රෝගියා සිටින පරිසරය තුළ මදුරු දැල් භාවිත කිරීම අනිවාර්ය වේ. එමගින් රෝගියාගෙන් තවත් අයකුට රෝගය ව්‍යාප්ත වීම වැළැක්වේ. කොහොඹ තෙල් හෝ පැඟිරි තෙල් වැනි දේශීය ආලේපන භාවිත කිරීම ද සුදුසුය.

ශරීරයේ ජල මට්ටම පවත්වා ගැනීම: අධික උණ සහ වමනය නිසා සිරුර විජලනය වීමට ඉඩ ඇත. එම නිසා කෙටි කාල පරාසයන් තුළ නිතර නිතර දියර වර්ග පානය කිරීමට සැලැස්විය යුතුය.

ප්‍රබල වේදනා නාශක භාවිතයෙන් වැළකීම: ඇස්පිරින් , බ්ලුෆන් වැනි ප්‍රබල වේදනා නාශක භාවිතය මගින් රුධිර වහනය වීමේ අවදානම දැඩි ලෙස ඉහළ යයි. උණ පාලනය සඳහා ආයුර්වේද උපදෙස් මත තැවීම් හෝ සාමාන්‍ය ඖෂධ පමණක් භාවිත කළ යුතුය.

සුදුසු ආහාර පාන (පථ්‍ය ආහාර)

ආයුර්වේදයේ සඳහන් වන "පථ්‍ය ආහාර" (සුදුසු ආහාර) මගින් ආහාර ජීරණ පද්ධතියේ "අග්නිය" සුරකිමින් රෝගියාගේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

කොත්තමල්ලි, පත්තපාඩගම්, කටුවැල්බටු තම්බා පානය කිරීමට දීමෙන් උණ සහ සිරුරේ දැවිල්ල ශමනය වේ.

තැඹිලි සහ කුරුම්බා වතුර: සිරුරට අවශ්‍ය ස්වාභාවික ඉලෙක්ට්‍රෝලයිට් දෙමින් විජලනය වළක්වයි.

ලඝු (සැහැල්ලු) දියර ආහාර: හාල් කැඳ, මුං ඇට තැම්බූ වතුර, එළවළු සුප් වැනි පහසුවෙන් ජීරණය වන ආහාර දිය යුතුය.

දෙළුම් යුෂ: රස ධාතුව සහ රක්ත ධාතුව වර්ධනය කිරීමටත්, සිරුරේ ශක්තිය දීමටත් දෙළුම් අතිශයින් ගුණදායකය.

නුසුදුසු ආහාර පාන (අපථ්‍ය ආහාර)

රෝගයේ සැර වැඩි කරවන "අපථ්‍ය ආහාර" භාවිතයෙන් සම්පූර්ණයෙන්ම වැළකිය යුතුය.

තෙල් සහ මිරිස් අධික ආහාර: බැදපු ආහාර, තදින් සැර දැමූ වංජන සහ අධික තෙල් සහිත ආහාර මගින් පිත්ත දෝෂය කෝප වන අතර ජීරණ පද්ධතියට ද අධික බරක් එකතු කරයි.

තද පැහැති ආහාර සහ බීම: රතු, කළු හෝ තද පැහැති (උදා: බීට්රූට්, රතු පාට පැණි බීම, චොකලට්) ආහාර ලබා නොදිය යුතුය. රෝගියා වමනය කළහොත් හෝ මලපහ කළහොත් ලේ පිටවන්නේද යන්න හඳුනා ගැනීමට එය බාධාවක් වේ.

ඇඹුල් සහ ලුණු අධික ආහාර: අධික ඇඹුල් සහ අධික ලුණු සහිත ආහාර මගින් රුධිරයේ ඇති දෝෂ තත්ත්වයන් වැඩි දියුණු වේ.

කෘත්‍රිම සහ ගෑස් සහිත පාන: ක්ෂණික ආහාර සහ කාබනේටඩ් බීම වර්ග මගින් ශරීරයේ ප්‍රතිශක්තිය හීන වන අතර අග්නිය මන්දගාමී වේ.

ඩෙංගු රෝගයේදී ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මගින් ලබාදෙන රෝගී චර්යාවන් සහ පෝෂණ උපදෙස් රෝගියා ඉක්මනින් සුවපත් වීමට මහත් පිටිවහලක් වේ. කෙසේ වෙතත්, උණ පවතින කාල සීමාව තුළ නිරන්තරයෙන් රුධිර පරීක්ෂණ (FBC) කරමින්, බටහිර හෝ ආයුර්වේද සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ පූර්ණ අධීක්ෂණය යටතේ කටයුතු කිරීම ජීවිත ආරක්ෂාව උදෙසා අනිවාර්ය බවද අමතක නොකරන්න.

ආයුර්වේද වෛද්‍ය අභයතිලක දේවගිරි


 

More News..