හානි වූ ව්‍යාපාරවලට දීමනා දෙන්න නව චක්‍රලේඛයක්
25 January 2026 | සාලිය කුමාර ගුණසේකර
හානි වූ ව්‍යාපාරවලට දීමනා දෙන්න නව චක්‍රලේඛයක්
25 January 2026 | සාලිය කුමාර ගුණසේකර
ආපදාවෙන් හානියට පත් ලියාපදිංචි ව්‍යාපාර සඳහා රුපියල් ලක්ෂ දෙකක්ද, ලියාපදිංචි නොවූ ව්‍යාපාර සඳහා රුපියල් පනස් දහසක (50,000) දීමනාවක් ද ගෙවිය හැකි පරිදි මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර ඇත.
එමෙන්ම ආපදාවෙන් හානියට පත් පදික සහ ජංගම ඇතුළු තාවකාලිකව සිදුකරන වෙළෙඳාම් සඳහා ඒකකයකට රුපියල් විසිපන්දාහක (25,000) දීමනාවක් ද ලබා දෙයි.
ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ ආපදාවෙන් බලපෑමට ලක්ව ඇනහිට ඇති ව්‍යාපාර වෙත තවදුරටත් පුළුල්ව සහන සැලසීමේ අරමුණින් මෙම චක්‍රලේඛය නිකුත්කර තිබේ.
08/2025 අයවැය චක්‍රලේඛයේ වගුවේ අනු අංක 8 හි සඳහන් දීමනා ලබාදීම වඩාත් කාර්යක්ෂමව හා ඵලදායිව ක්‍රියාත්මක කිරීමට අදාළව පැහැදිලිකිරීම් හා සංශෝධන ඇතුළත්ව මෙම නව චක්‍රලේඛය නිකුත් කර ඇත. ඉකුත් වසරේ (2025) දෙසැම්බර් 05 වැනිදා නිකුත් කරන ලද 08/2025 අයවැය චක්‍රලේඛයේ ආපදාවෙන් බලපෑමට ලක්වූවන් සවිබල ගැන්වීමේ වැඩසටහන යටතේ අනු අංක 08 මගින් සඳහන් කර ඇත්තේ “ආපදාවෙන් බලපෑමට ලක්ව ඇනහිට ඇති තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයකට පත්කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව ඒකකයකට රුපියල් ලක්ෂ දෙකක් (200,000) බවයි.
ඒ අනුව ඉකුත් 22 වැනිදා නිකුත් කරන ලද නව චක්‍රලේඛයේ මෙලෙස පැහැදිලි කිරීම් හා සංශෝධන ඇතුළත් කර ඇත. මෙම නව චක්‍රලේඛයේ අනු අංක 08 මගින් සඳහන් කර ඇත්තේ “ආපදාවෙන් බලපෑමට ලක්ව ඇනහිට ඇති ව්‍යාපාර නැවත ආරම්භ කිරීමට සුදුසු තත්ත්වයට පත්කිරීම සඳහා එක්වරක් පමණක් ගෙවනු ලබන දීමනාව’’ ලෙසයි.
ඒ අනුව, 8.1 කර්මාන්ත අමාත්‍යාංශයේ ලියාපදිංචි තනි සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා ඒකකයකට රුපියල් ලක්ෂ දෙකක් ද, 8.2 ව්‍යාපාරයක් ලෙස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි තනි, සුළු හා ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා ඒකකයකට රුපියල් ලක්ෂ දෙකක් ද, 8.3 ලියාපදිංචි නොවූ ගෘහස්ථව ස්ථිර ගොඩනැගිල්ලක පවත්වාගෙන යන වෙළෙඳ ව්‍යාපාර සඳහා ඒකකයකට රුපියල් පනස්දහසක් (50,000), 8.4 ලියාපදිංචි නොවූ නිෂ්පාදන කර්මාන්ත හා හරිතාගාර යනාදිය සඳහා ඒකකයකට රුපියල් පනස් දහසක් (50,000), 8.5 පදික සහ ජංගම ඇතුළු තාවකාලිකව සිදුකරන වෙළෙඳාම් සඳහා ඒකකයකට රුපියල් විසිපන්දහසක් (25,000) ලෙස අදාළ දීමනාව ලබා දෙයි. නව චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්කර ඇත්තේ 8.1 හා 8.2 කාණ්ඩ යටතේ දක්වා ඇති එක් ව්‍යාපාර ඒකකයක් සඳහා ලබාගත හැක්කේ එක් දීමනාවක් පමණක් බවයි. එමෙන්ම, යම් ප්‍රතිලාභියෙක් 8.3,8.4,8.5 යන කාණ්ඩ යටතේ වන දීමනාවලින් කිහිපයක් සඳහා සුදුසුකම් ලබයි නම්, එහිදී හිමිවිය යුත්තේ එම කාණ්ඩවලින් එක් කාණ්ඩයක් යටතේ වන දීමනාවක් පමණක් බවද එම චක්‍රලේඛයේ දැක්වේ. තවද මෙම දීමනා ගෙවනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බවද එහි සඳහන් කර ඇත.

