බාල බෙහෙත් නඩුවේ විභාගය අවසන්
05 November 2026
බාල බෙහෙත් නඩුවේ විභාගය අවසන්
05 November 2026
රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇති නඩුවේ විභාගය ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (04 වැනිදා) අවසන් කළේය.
තවද ලිඛිත දේශන මෙමස 25 වැනිදා සහ වාචික දේශන මෙමස 30 වැනිදා කැඳවීමටද අධිකරණය දින නියම කළේය. ඒ අනුව නඩුවේ විත්ති වාචික වීමසීම ද ඊයේ (04 වැනිදා) අවසන් කෙරිණි.
නඩුවේ විත්ති වාචකය කැඳවීම ඉකුත් 29 වැනිදා ආරම්භ කෙරණු අතර අධිකරණය මගහැර සිටින 09 වැනි විත්තිකරු හැර අනෙක් විත්තිකරුවන් සියලුම දෙනා විත්තිකුඩුවේ සිට සිය විත්ති වාචික ඉදිරිපත් කළහ.
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබිණි.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනකු හා නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල මගින් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්යක්ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (අධිකරණය මගහැර විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.
2023 වසරේ ඔක්තෝබර් මස අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කාමතික තුෂාර විසින් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට කරන ලද පැමිණිලිවලට අදාළව 2023 ඔක්තෝබර් 13 වැනිදා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර අනතුරුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබිණි.
මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා සියලු විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මස 06 වැනිදා විමර්ශනයන්වල උදෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබිණි. ඒ අනුව නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර ඉකුත් වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදෙන ලදී. ඉන් අනතුරුව ඊයේ (04 වැනිදා) දක්වා නඩුව දිනපතා විභාග කෙරිණි.

