නඩත්තු මුදල් ඉල්ලා වැඩිහිටි පැමිණිලි ගලයි
12 October 2025 | සාලිකය කුමාර ගුණසේකර
නඩත්තු මුදල් ඉල්ලා වැඩිහිටි පැමිණිලි ගලයි
12 October 2025 | සාලිකය කුමාර ගුණසේකර
දරුවන්ගෙන් නඩත්තු මුදලක් ඉල්ලා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ වට්ස්ඇප් දුරකථන අංකයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි අනාවරණය වේ.
සිය දරුවන් නොසලකා හරින්නේ නම් ඒ පිළිබඳව වැඩිහිටියන්ට පැමිණිලි කිරීම සඳහා ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් 070-7898889 යන වට්ස්ඇප් අංකය හඳුන්වා දී ඇත.
දරුවන් නොසලකා හැරීම සම්බන්ධයෙන් මෙම දුරකථන අංකයට මාසයකට පැමිණිලි 150ක් පමණ ලැබෙන බවයි ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුම් පැවසුවේ. එම පැමිණිලි සම්බන්ධව වෙන වෙනම විමර්ශනය කෙරෙන බවද ඔහු කියා සිටියේය.
ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් හඳුන්වා දී තිබෙන වට්ස්ඇප් දුරකථන අංකයට දිනකට පැමිණිලි පහක්, හයක් පමණ ලැබෙන බවත් සති අන්තයේ සහ රජයේ නිවාඩු දිනයන්හිදී ද එම අංකයට පැමිණිලි ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින බවත් අධ්‍යක්ෂවරයා පැවසුවේය.
දරුවන් නඩත්තු මුදලක් ලබානොදීම හෝ නොසලකා හැරීම සම්බන්ධව පැමිණිල්ලක් ලැබුණු පසුව දෙපාර්ශ්වයම කොළඹ පිහිටි ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලයේ නඩත්තු මණ්ඩලයට කැඳවන බවත්, මෙම මණ්ඩලය පත්කර ඇත්තේ අධිකරණ සේවා කොමිෂන් සභාවෙන් බවත් අධ්‍යක්ෂවරයා කියා සිටියේය.
දුර බැහැර සිටින වැඩිහිටියන්ට කොළඹට පැමිණීම අපහසු නිසා මෙම පැමිණිලි ලබන වසරේ සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් විසඳීමට වැඩපිළිවෙළක් යොදන බවද ඔහු කීවේය. මෙහිදී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුළදී අදාළ පැමිණිලි ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය විසින් මාර්ගගත ක්‍රමයට (Online) විභාග කර විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවද අධ්‍යක්ෂවරයා පැවසුවේය.