Best News Website award
brand logo
logo
නොවැම්බර් මස අස්වැසුම දීමනාව සහ හදිසි සහනාධාරය අද බැංකු ගිණුම් වෙත

නොවැම්බර් මස අස්වැසුම දීමනාව සහ හදිසි සහනාධාරය අද බැංකු ගිණුම් වෙත

27 November 2026


නොවැම්බර් මාසයට අදාළ 'අස්වැසුම' සුබසාධක ප්‍රතිලාභ දීමනාව අද (27) දිනයේදී ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට පියවර ගෙන ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.


ඒ අනුව, අන්ත දුප්පත් කාණ්ඩයේ පවුල් 381,369ක් සහ දුප්පත් කාණ්ඩයේ පවුල් 635,761ක් වශයෙන් සමස්ත පවුල් 1,017,130ක් සඳහා අද දින මෙම ප්‍රතිලාභ හිමිවීමට නියමිතය.


මෙම ගෙවීම් කටයුතු වෙනුවෙන් රුපියල් 12,142,055,250ක මුදලක් වෙන් කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.


මේ අතර, පසුගිය සැප්තැම්බර් 08 වැනි දින ඉදිරිපත් වූ අමාත්‍ය මණ්ඩල සංදේශයකට අනුව, මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ලෝක වෙළෙඳපොළේ ඛනිජ තෙල් මිල ඉහළ යාමෙන් මෙරට ජනතාවගේ දෛනික ජීවිතයට එල්ල වන බලපෑම අවම කිරීම සඳහා හදිසි සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබුණි.


එම තීරණය යටතේ, අන්ත දුප්පත් කාණ්ඩයට හිමිවන රුපියල් 17,500ක මාසික අස්වැසුම දීමනාවට අමතරව රුපියල් 3,000ක අතිරේක දීමනාවක් ද, දුප්පත් කාණ්ඩයට හිමිවන රුපියල් 10,000ක මාසික දීමනාවට අමතරව රුපියල් 2,000ක අතිරේක දීමනාවක් ද මෙම මාසයේදී ගෙවීමට කටයුතු කර ඇත.


මෙම හදිසි සහනාධාරය වෙනුවෙන් රජය රුපියල් 2,415,629,000ක මුදලක් වෙන් කර ඇති අතර, මෙම අතිරේක දීමනාව නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස දෙක සඳහා පමණක් ගෙවීමට නියමිත බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

 

More News..