brand logo
logo
හෙද නිල ඇඳුම ගැන අදූරදර්ශී තීරණ ගන්න එපා - හෑගොඩ විපස්සි හිමි

හෙද නිල ඇඳුම ගැන අදූරදර්ශී තීරණ ගන්න එපා - හෑගොඩ විපස්සි හිමි

30 October 2026


මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට අවසර දීම වැනි අදූරදර්ශී තීරණ නොගත යුතු බව රත්මලාන ධර්ම පර්‌යේෂණාලයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ රජයට ලිපියක් යොමුකරමින් කියා සිටිති.


විපස්සි හිමියන් විසින් රාජ්‍ය පරිපාලන ඇමැතිවරයා, අධිකරණ ඇමැතිවරයා හා සෞඛ්‍ය ඇමැතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.


මුස්ලිම් සෞඛ්‍ය සේවිකාවන් සඳහා නිල ඇඳුමට අමතරව ආගමික සම්ප්‍රදායන්ට අනුකූලව ඇඳුම් ඇඳීමට ඉඩ සලස්වමින් නව චක්‍ර ලේඛනයක් නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට නිර්දේශ කොට ඇති බවත් එහි සඳහන් වේ.


රාජ්‍ය හෙද සේවයේ නියුතු කාන්තාවන්ගේ නිල ඇඳුම ජාති, ආගම් කුල වශයෙන් වෙන්නොකොට පොදුවේ සෑමදෙනාම එකම නිල ඇඳුමකින් සැරසී සිටීමෙන් විශිෂ්ට ඒකාත්මීය ස්වභාවයට හේතු වේ. රෝගී කේන්ද්‍රීය වශයෙන් බිහි වූ හෙද සේවයේ නියුක්ත මුස්ලිම් කාන්තාවන් තම ආගමික සිරිතකට අනුව ‘හිජාබ්’ වැනි ඇඳුමෙන් සැරසී සිටීමෙන් පවතින හෙද සේවයේ ස්වලක්ෂණ විෂයෙහි කිසිදු ගුණාත්මක හෝ යුක්ති සහගත බවක් ඇති නොවේ. හුදෙක් එයින් සිදුවන්නේ අනවශ්‍ය වාර්ගික පෙලඹවීමකට තුඩුදෙන සුළු අගතිගාමී තත්ත්වයක් නිර්මාණය වීමයි.


එබැවින් මෙවැනි ප්‍රස්තූතයන්හි රජය ක්‍රියා කළ යුත්තේ පහත සඳහන් ඉගැන්වීම් පිළිබඳ විචක්ෂණභාවයෙන් මිස අදූරදර්ශී ලෙස නොවන බැවින් මේ පිළිබඳ මනා ප්‍රාමාණික අවබෝධයකින් කටයුතු කරමින් මීට වසර 33කට පෙර පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රි යෝජනාවක් ලෙසද ඉදිරිපත් වූ මෙවැනි කරුණු සම්බන්ධයෙන් වත්මන් රජය අදූරදර්ශී තීරණ නොගත යුතු බවත් එවැනි යෝජනා සම්මත නොකළ යුතු බවටත් එම ලිපිය මගින් උන්වහන්සේ ඉල්ලීමක් කරති.

 

More News..