brand logo
logo
 ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

ශිරාන් බාසික් මත් ජාවාරමට අමතරව අවි ජාවාරම්වලත් නිරතවී ඇතැයි අධිකරණයට දන්වයි

19 October 2026


ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ශිරාන් බාසික් නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නීතිවිරෝධී අවි ආයුධ ජාවාරම්වලද නිරත වී ඇති බවට විමර්ශන අංශ වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.


මොහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම මහේන් ගොපල්ලව සහ ඒ. ප්‍රේම්ශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද (19) සලකා බැලීම සිදු විය.


මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ඥානරාජ් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්පූර්ණයෙන්ම නීතියට පටහැණි බව සඳහන් කළේය.


ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය නිකුත් කළ රතු නිවේදනයකට අනුව බව පොලිස් සටහන්වල සඳහන් වුවද, සිය සේවාදායකයාට එරෙහිව තිබූ අදාළ මත්ද්‍රව්‍ය නඩුවකින් ඔහු නිදොස් කොට නිදහස් කර ඇති බැවින් එම රතු නිවේදනය මේ වනවිට ඉවත් කරගෙන ඇති බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.


දැනට ඔහුට එරෙහිව පවතින්නේ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ කැරැල්ල සහ කොකේන් ජාවාරම සම්බන්ධ නඩු දෙකක් පමණක් වන බැවින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවා තබා ගැනීමට කිසිදු නීතිමය පදනමක් හෝ සාක්ෂියක් නොමැති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.


ඊට ප්‍රතිචාර දක්වමින් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා මහතා අධිකරණයට කියා සිටියේ, මෙම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව නීතිවිරෝධී අවි ආයුධ ජාවාරම්වල නිරත වී ඇති බවට විමර්ශන අංශ වෙත විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවය.


අන්තවාදී සංවිධාන සමඟ මොහු සම්බන්ධ වී කටයුතු කර ඇද්ද යන්න පිළිබඳවද වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බැවින්, ඉදිරිපත් වූ සාධාරණ කරුණු මත පදනම්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම රඳවා තබාගැනීම සිදු කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.


මෙම නඩු විභාගය අතරතුරදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, සැකකරුට නිවසින් එළවළු ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබා දෙන ලෙසත්, නීතිඥවරුන් හමුවීම සඳහා දැනට ලබාදී ඇති කාලයට වඩා වැඩි අවස්ථාවක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය.


එමෙන්ම, සැකකරු සහ නීතිඥවරුන් අතර සිදුවන කතාබහ පොලිසිය විසින් පටිගත කිරීමක් සිදු කරන බවටද ඔහු චෝදනා කළේය.


ඊට ප්‍රතිචාර දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා, නිවසින් ආහාර ගෙන්වා ගැනීමට අවසර දෙන ලෙස කරන ඉල්ලීම ගැටලුකාරී බවත්, සැකකරුගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එවැනි සීමා පැනවීමට පොලිසිය ක්‍රියා කර තිබෙන බවත් ප්‍රකාශ කළේය.


කෙසේ වෙතත්, මෙම ඉල්ලීම් ඉටු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා දිනයකදී අධිකරණයට කරුණු දක්වන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයාට නියෝග කරන ලදී.

 

More News..