Best News Website award
brand logo
logo
සිමෙන්ති පොළොවට යටවූ සුනඛ ජීවිතයට මනුෂ්‍යත්වයෙන් පණදෙයි

සිමෙන්ති පොළොවට යටවූ සුනඛ ජීවිතයට මනුෂ්‍යත්වයෙන් පණදෙයි

19 November 2026 | ජානක එස් බණ්ඩාර


කුණ්ඩසාලේ මහනුවර කටුකැලේ ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් යටින් දිවෙන පටු කොන්ක්‍රීට් කානුවක පැය 24කට අධික කාලයක් සිරවී සිටි සුනඛයකු මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීම් හා ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් විසින් නිරුපද්‍රිතව බේරාගෙන තිබේ.


මෙම සුනඛයා බේරා ගැනීම සඳහා ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් පොළොවේ කොටසක් කඩා ඉවත් කිරීමට සිදුව තිබූ අතර, ඒ සඳහා ගොඩනැගිල්ලේ හිමිකරු ද කිසිදු පැකිළීමකින් තොරව අවසර ලබාදීම විශේෂත්වයකි.


නොවැම්බර් 16 වැනිදා මෙම සිදුවීම පිළිබඳව තොරතුරු ලැබීමත් සමග මහනුවර මහ නගර සභාවේ ගිනි නිවීම් හා ගලවා ගැනීමේ ඒකකයේ නිලධාරීන් කටුකැලේ ප්‍රදේශයේ චැනල් සෙන්ටර් ආයතනය අසල පිහිටි අදාළ ගොඩනැගිල්ල වෙත පැමිණ පරීක්ෂා කර තිබේ.


එහිදී ගොඩනැගිල්ල යටින් දිවෙන ඉතා පටු කොන්ක්‍රීට් කානුවක් තුළ සුනඛයා සිරවී සිටින බව අනාවරණය කරගෙන ඇති අතර, එම සත්වයා බේරා ගැනීම සඳහා ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් පොළොවේ කොටසක් කඩා ඉවත් කළ යුතු බව ගොඩනැගිල්ලේ හිමිකරුට දැනුම් දී ඇත.


සත්වයාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් තම ගොඩනැගිල්ලට සිදුවන හානිය පිළිබඳව නොසලකා එම කටයුතු සඳහා අවසර ලබාදීමට හිමිකරු කටයුතු කර තිබේ.


ඒ අනුව කොන්ක්‍රීට් කපන යන්ත්‍ර සහ විශේෂ ගලවා ගැනීමේ උපකරණ භාවිත කරමින් ගොඩනැගිල්ලේ පොළොව කපා කානුවට ප්‍රවේශ වූ ගිනි නිවීම් නිලධාරීන් මහත් පරිශ්‍රමයකින් පසු අඳුරු කානුව තුළ තෙතබරිතව, දැඩි වෙහෙසට පත්ව සිටි දුඹුරු පැහැති සුනඛයා ආරක්ෂිතව පිටතට ගැනීමට සමත්ව තිබේ.



පසුව ගලවා ගැනීමේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව සුනඛයා පිරිසුදු ජලයෙන් සෝදා තෙත මාත්තු කර උණුසුම්ව තැබීමට කටයුතු කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය පශු ශික්ෂණ රෝහල වෙත රැගෙන යාමට ද පියවර ගෙන ඇත.

 

More News..