brand logo
logo
රුවන්වැලි සෑ පරිශ්‍රයේ කෝවිලක් හදන්නේ නැහැ- බුද්ධශාසන ඇමැති

රුවන්වැලි සෑ පරිශ්‍රයේ කෝවිලක් හදන්නේ නැහැ- බුද්ධශාසන ඇමැති

21 October 2026 | නිර්මාණි තිලකසිරි

අනුරාධපුර අටමස්ථානයේ රුවන්වැලි සෑ පරිශ්‍රය තුළ ඉන්දියානු මැදිහත්වීම මත කෝවිලක් ඉදිකිරීමට යන බවට පැතිර යන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය හා නොමග යවන සුලු ප්‍රකාශ බැවින් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බව බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි පැවසීය.


අමාත්‍යවරයා මේ බව පැවසූයේ ඊයේ (20 වැනිදා) බුද්ධ ශාසන සභාව රැස්වූ අවස්ථාවේ අටමස්ථානයේ මල් ආසන ඉවත් කරන බවට සහ හින්දු කෝවිලක් ඉදිකරන බවට පැතිරෙන ප්‍රචාර සම්බන්ධයෙන් මහා සංඝරත්නය විමසූ අවස්ථාවේ අදහස් දක්වමිනි.


මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ මෙලෙස අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම යටතේ සිදුකෙරෙන පුරාවිද්‍යා කැණීම් හා සංවර්ධන කටයුතු වැරදි ලෙස අර්ථකථනය කරමින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි.


එමෙන්ම අමාත්‍යවරයා මෙසේද පැවසීය.


බුදු සසුන කෙරෙහි මේ රජය අවධානය යොමු කරන්නේ නෑ කියලා ඒත්තු ගන්වන්න විවිධ පාර්ශ්ව තොරතුරු විකෘති කර ව්‍යාජ තොරතුරු සංසරණය කරනවා. ඉතාම වැරදි සහගත සහ සාවද්‍ය විදිහට තොරතුරු ප්‍රචාරය කරලා 2026 පෙබරවාරි මාසයේ 07 වැනිදා ප්‍රවාහන මහා මාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක නිකුත් කළ ගැසට් නිවේදනයක් ගැන මෙම ගැටලුව තියෙන්නේ. ඒ ගැසට් නිවේදනය නිකුත් කරලා තියෙන්නේ අනුරාධපුර පූජා භූමිය සංවර්ධන යෝජනා ක්‍රම ගැන. පූජා භූමියේ සීමාව සහ එහි සංවර්ධනය කිරීම සම්බන්ධ නිර්දේශ තමයි මේකේ තියෙන්නේ.


ප්‍රධාන අභිමතාර්ථ තුනක් මේ ගැසට් නිවේදනයේ තියෙනවා. පුරා විද්‍යා වටිනාකම් සංරක්ෂණය සහ අනන්‍ය පරිසර පද්ධති සුරැකීම, බැතිමතුන් සහ සංචාරකයන් සඳහා පහසුකම් සැලසීම, ප්‍රදේශවාසීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම කියන අභිමතාර්ථ තුන. එය මේ පූජා භූමියේ කලාප තුනක පැතිරිලා තියෙනවා. අධි සංවේදී කලාපය, සංවේදී කලාපය සහ පොදු පහසුකම් කලාපය කියන එක. මේ ගැසට් පත්‍රයේ නිරවුල්ව පෙන්වා දෙනවා රුවන්වැලි සෑය ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ ඇතුළු පූර්ණ අටමස්ථනය සහ ප්‍රධාන පෙළේ සිද්ධස්ථාන මේ අධි සංවේදී කලාපය ඇතුළේ තියෙන්නේ. ඒ සියල්ලෙම කිසිදු වෙනසක් සිදුනොවන බව පෙන්වා දීලා තියෙනවා. මල් ආසන ගලවා ඉවත් කරනවා, රාම කෝවිලක් හදන බව ඉන්දියානු රජයේ මැදිහත්වීමක් තිබෙන බව ඉතාමත් සාවද්‍ය ප්‍රකාශ. මේ පනතේ පුන පුනා සඳහන් කරනවා සියලුම තටයුතු සිදුවෙන්නේ පුරාවිද්‍යා අඥාපනත සහ එහි ප්‍රවේශයන් සහ නිර්දේශ ප්‍රකාරව බව. රුවන්වැලි සෑය වටේ වැටක් ඉදිකරන බව තමන්ට රුචිවූ පරිදි අර්ථ ගන්වනවා අපි බලාගෙන හිටියා ඇත්තටම රුවැන්වැලි සෑයේ ආරක්ෂාවට වැලි මළුවට ඔබ්බෙන් ඉතා හොඳ ඇති පවුරක් තියෙනවා. ඒවා පුරා විද්‍යා ස්මාරක. ඒව වෙනස් කරන්න ගලවන්න කිසිවකුට බෑ. වැටක් ඉදිකරන්නේ මාර්ගයට සමීපව පවතින විශාල පිට්ටනියක් වැනි අතිරේක භූමි කොටස්. මේ භුමි කොටස් ස්මාරකයට ඇතුළත් වන පරිදි දුරින් තමයි සිදුකරන්නේ. එය නගර නිර්මාණයට අයත් එකක්. ඒ නිසා මෙවැනි ජනතාව නොමග යවන ප්‍රකාශ සිදුකරන පිරිසට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.

 

More News..