Best News Website award
brand logo
logo
තඹුත්තේගමදී රිවෝල්වරයක් සහ පතොරම් 09ක් පොලිස් භාරයට - සැකකරුවන් පලායයි

තඹුත්තේගමදී රිවෝල්වරයක් සහ පතොරම් 09ක් පොලිස් භාරයට - සැකකරුවන් පලායයි

15 November 2026


තඹුත්තේගම, රාජාංගණය මාර්ගයේ 03 කණුව බස් නැවතුම්පොළ අසල ප්‍රදේශයේදී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක් සහ ඊට යොදන පතොරම් 09ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.


නිකවැරටිය කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරියෙකු විසින් සැකකටයුතු යතුරුපැදියක් නවතා සිදුකළ පරීක්ෂාවකදී එහි ගමන්ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු සන්තකයේ තිබී රිවෝල්වර් වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන පතොරම් 04ක් සොයාගෙන ඇත.


එහිදී යතුරුපැදියේ පැදිකරු යතුරුපැදිය එම ස්ථානයේ දමා පලාගොස් ඇති අතර, පසුපැදිකරු ද පරීක්ෂාව සිදුකළ පොලිස් නිලධාරියාගේ යතුරුපැදිය රැගෙන පලායාමට උත්සාහ කර තිබේ.


කෙසේ වෙතත්, එම උත්සාහය ව්‍යර්ථ වී ඇති අතර, පසුව සැකකරු ද එම ස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිසිය පවසයි.


සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පොලිස් නිලධාරියා තඹුත්තේගම පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් අනතුරුව එහි නිලධාරීන් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරීක්ෂණ ආරම්භ කර තිබේ.


එහිදී ආසන්න මාර්ගයක තිබී සැකකරුවන් විසින් අතහැර දමා ගොස් තිබූ විදේශ රටක නිෂ්පාදිත රිවෝල්වර් වර්ගයේ ගිනිඅවියක්, ඊට යොදන පතොරම් 05ක් සහ සැකකරුවන් පැමිණි යතුරුපැදිය පොලිස් භාරයට ගෙන ඇත.


සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

 

 

More News..