Best News Website award
brand logo
logo
 රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

රාජ්‍ය අංශයේ වැටුප් හා විශ්‍රාම වැටුප් උදෙසා 2027 වසරේ අයවැය යෝජනා

12 November 2026


රාජ්‍ය සේවයේ විධායක නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා...


රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 05/2016 යටතේ නිල වාහනයක් සඳහා හිමිකම් ලබන නමුත්, නිල රාජකාරි ඉටු කිරීමේ දී තම පෞද්ගලික වාහන භාවිත කරනු ලබන විධායක නිලධාරීන්ට මාසිකව රු. 50,000ක ප්‍රවාහන දීමනාවක් ගෙවනු ලැබේ. එය රු. 100,000 දක්වා වැඩි කිරීමට යෝජනා.


සම්පුර්ණයෙන් විදුලි බලයෙන් ධාවනය කරන පෞද්ගලික වාහන භාවිතා කරන නිලධරයන්ට, විදුලි බලයෙන් ධාවනය වන වාහන භාවිතය දිරි ගැන්වීමේ අරමුණෙන්, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 13/2008(V) අනුව ගෙවනු ලබන මාසික දීමනාව 2027 ජුලි සිට 150% කින් ඉහළ නැංවීමට යෝජනා.


සෞඛ්‍ය අංශයේ දීමනා...


වෛද්‍ය නිලධාරීන්ට ගෙවනු ලබන 'DAT' දීමනාව රු. 70,000 සිට රු 95,000 දක්වා රු. 25,000කින් වැඩි කිරීමට යෝජනා.


සෞඛ්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා පරිපූරක වෛද්‍ය, හෙද හා අතුරු වෛද්‍ය සේවාවන්හි නිලධාරීන්ගේ මාසික විශේෂ රාජකාරි දීමනාව රු. 6,000 සිට රු. 12,000 දක්වා ද, අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මාසික විශේෂ රාජකාරි දීමනාව රු. 2,000 සිට 4,000 දක්වා ද වැඩි කිරීමට යෝජනා.


සෞඛ්‍ය අංශය සඳහා යෝජනා කරන ලද ඉහත දීමනා වැඩි කිරීම පියවර දෙකකින්. ඒ අනුව වැඩි වීමෙන් 50%ක් 2027 ජුලි මස සිටද, එහි ඉතිරි 50%, 2028 වසරේදී ද ගෙවනු ලැබේ.


විශ්වවිද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතනවල කථිකාචාර්යවරුන් සඳහා ගෙවීම්...


විශ්වවිද්‍යාල අධ්‍යයන කාර්ය මණ්ඩල සඳහා දැනට ගෙවනු ලබන අධ්‍යයන දීමනාව රු. 25,000කින් ඉහළ නැංවීමට යෝජනා. එම වැඩිවන දීමනාවෙන් 50% ක් 2027 ජූලි මස සිට හා ඉතිරි 50% 2028 ජුලි මාසයේ සිට ලබාදීමට කටයුතු කෙරේ.


විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු සඳහා විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්යවරු විශ්වවිද්‍යාල වෙත ආකර්ෂණය කරවා ගැනීම වෙනුවෙන්, බාහිර කථිකාචාර්යවරුන් වෙත සිදු කෙරෙන ගෙවීම් දැනට පවතින අනුපාතවලට අනුකූලව තුන් ගුණයකින් ඉහළ නැංවීමට යෝජනා.


ඒ අනුව, දැනට පැයක් වෙනුවෙන් ගෙවනු ලබන රු. 1,500ක් වන දීමනාව රු. 4,500ක් දක්වා වැඩි කිරීමට යෝජනා. එමෙන්ම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා බාහිර උපදේශකවරුන් වෙනුවෙන් පැයකට ගෙවනු ලබන රු. 600 දීමනාව රු. 1,800 දක්වා ඉහළ දැමීමට යෝජනා.


වෘත්තීය නිපුණතා අධ්‍යයන කටයුතු සඳහා විශේෂඥ දැනුම සහිත බාහිර කථිකාචාර්‌යවරු වෘත්තීය හා තාක්ෂණ ආයතන වෙත ආකර්ෂණය කරවා ගැනීම වෙනුවෙන්, බාහිර කථිකාචාර්යවරුන් වෙත සිදු කෙරෙන ගෙවීම් දැනට පවතින අනුපාතවලට අනුකූලව 100%කින් ඉහළ නැංවීමට යෝජනා.


ත්‍රිවිධ හමුදා ආහාර දීමනාව...


ත්‍රිවිධ හමුදා සඳහා ගෙවනු ලබන දෛනික ආහාර දීමනාව 2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිලධාරීන් සඳහා රු. 315කින් ද, සෙසු නිලයන් සඳහා රු. 332කින් ද ඉහළ නැංවීමට යෝජනා.


ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන්ගේ ආහාර හා නවාතැන් දීමනාව...


පොලිස් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ආහාර හා නවාතැන් දීමනාව 2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි රු. 10,000කින් ඉහළ නැංවීමට යෝජනා.


බන්ධනාගාර නිලධාරීන් සඳහා අවදානම් දීමනාව...


මාසික අවදානම් දීමනාව රු. 8,000 සිට රු. 16,000 දක්වා 100% කින් වැඩි කර, ඉහළ නැංවීමට කටයුතු කෙරේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු සිවිල් නිලධාරීන් හට දැනට ගෙවන රු. 2,250 ක දීමනා ද, රු. 10,000ක් දක්වා වැඩි කිරීමට යෝජනා. මෙම දීමනා 2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි ගෙවීමට යෝජනා කෙරේ.


ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා දීමනා...


ග්‍රාම නිලධාරීන් සඳහා දැනට ගෙවන මාසික ගමන් වියදම් දීමනාව රු. 1,600 සිට රු 4,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 3,000 සිට රු. 6,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ද ඉහළ නැංවීමට යෝජනා.


සංවර්ධන නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 300 සිට රු. 1,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 1,000 සිට රු 2,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 750 සිට රු. 1,500 දක්වා ද වැඩි කෙරේ.


සමෘද්ධි නිලධාරීන් සඳහා දැනට ගෙවන මාසික ගමන් වියදම් දීමනාව රු. 2,000 සිට රු. 2,500 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු. 2,500 සිට රු. 5,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ද වැඩි කෙරේ.


කෘෂිකම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ගමන් වියදම් දීමනාව රු. 400 සිට රු. 1,000 දක්වා ද, මාසික කාර්යාල කුලී දීමනාව, නගර සභා බල ප්‍රදේශ සඳහා රු 3,000 සිට රු. 6,000 දක්වා ද, ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සඳහා රු. 2,000 සිට රු. 4,000 දක්වා ඉහළ නැනැංවීමට යෝජනා.


ක්ෂේත්‍ර නිලධාරීන් සඳහා වන ඉහත දීමනා 2027 වසරේ අප්‍රේල් මස සිට සංශෝධනය කරනවා.


මහාධිකරණ විනිසුරු හා අධිකරණ නිලධාරීන්ගේ දීමනා...


මහාධිකරණ විනිසුරුවන්, විශේෂ ශ්‍රේණියේ අධිකරණ නිලධාරීන් සහ සෙසු ශ්‍රේණිවල අධිකරණ නිලධාරීන් සඳහා දැනට ගෙවනු ලබන මාසික වෘත්තීය දීමනාව රු 25,000කින් ඉහළ නැංවීමට යෝජනා.


මෙම වැඩිවීමෙන් 50%ක් 2027 ජුලි මස සිටද, ඉතිරි 50% 2028 වසරේදී ද හෙවීමට කටයුතු කෙරේ.


2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම ලත් නිලධාරීන්ට දැනට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව රු. 50,000කින්ද, හිමිකම් ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රු. 25,000 සිට 50,000 දක්වාද රජය විසින් නිල නිවාසයක් හෝ බදු පදනම මත ලබාගත් නිල නිවාසයක් හෝ සපයා නොමැති අවස්ථාවල දී, තම නේවාසික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා දැරීමට සිදුවන වියදම ඉහළ යාම සැලකිල්ලට ගනිමින්, මහාධිකරණ විනිසුරුවන් සහ අනෙකුත් විනිසුරුවන් සඳහා දැනට ගෙවනු ලබන මාසික නිවාස දීමනාව 100% කින් ද වැඩි කිරීමට යෝජනා.


නීතිපති දෙපාර්තමේන්තුවේ දීමනා...


නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපති, සොලිසිටර් ජනරාල්, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නීතිඥ යන තනතුරු සඳහා වෘත්තියක නොයෙදීමේ මාසික දීමනාව රු. 25,000කින්ද, ජ්‍යෙෂ්ඨ රජයේ අධි නීතිඥ සහ රජයේ අධි නීතිඥ යන තනතුරුවල නිලධාරීන් සඳහා වෘත්තීය නොයෙදීමේ දීමනාව රු. 20,000 කින් ද ඉහළ නැංවීමට යෝජනා.


මෙම වැඩිවීමෙන් 50%ක් 2027 ජුලි මස සිට ද, ඉතිරි 50% 2028 වසරේ දී ද ගෙවීමට කටයුතු කෙරේ.


2027 ජුලි මස සිට ක්‍රියාත්මක වන පරිදි නිල වාහන සඳහා හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික ප්‍රවාහන දීමනාව ද රු. 50,000කින්ද හිමිකම ලත් නිලධාරීන්ට ගෙවනු ලබන මාසික රියදුරු දීමනාව රු. 25,000 සිට රු. 50,000 දක්වාද, දැනට ගෙවනු ලබන නිවාස දීමනාව 100% ද ඉහළ නැංවීමට යෝජනා.


අධිකරණ සහායක කාර්‌ය මණ්ඩල දීමනා...


අධිකරණ සහායක කාර්ය මණ්ඩල නිලධාරීන්ට ගෙවනු ලබන අදාළ දීමනා 2027 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට ද කටයුතු කරනු ලබනවා.

 


 

More News..