දොස්තරලාට ඇඳ තාත්තයි පුතයි බෙහෙත් දීලා
07 October 2026 | ගයාත්‍රි ගීගනආරච්චි / දර්ශන කානිල් - මොරටුව
දොස්තරලාට ඇඳ තාත්තයි පුතයි බෙහෙත් දීලා
07 October 2026 | ගයාත්‍රි ගීගනආරච්චි / දර්ශන කානිල් - මොරටුව
උස්ගල සියඹලාංගමුව හා මීගලෑව යන ප්‍රදේශවල ව්‍යාජ වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් ප්‍රදේශයේ ජනතාවට නීති විරෝධීව වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කළ ව්‍යාජ වෛද්‍යවරුන් දෙදෙනකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊයේ (06 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 15ට අධික වටිනාකමකින් යුත් බටහිර ඖෂධ තොගයක්ද එහිදී අත්අඩංගුව ගෙන ඇත. මෙම වැටලීමේදී සියඹලාංගමුව, ගල්ගමුව ප්‍රදේශයේ පිහිටි බෙහෙත් ශාලාවේ ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි 64 හැවිරිදි පුද්ගලයකු සහ මීගලෑව ප්‍රදේශයේ පිහිටි බෙහෙත් ශාලාවේ ව්‍යාජ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි 33 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇත. විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පිය පුතු දෙපළක් බවයි.
අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහට ලැබුණු තොරතුරකට අනුව, ඒ පිළිබඳව කරන ලද විමර්ශනයකින් අනතුරුව මෙම වෛද්‍ය මධ්‍යස්ථාන දෙක වටලා, සැකකරුවන් සහ ඖෂධ තොගය අත්අඩංගුවට ගෙන තිබේ. ඖෂධ තොගය අතර ශ්‍රී ලංකාවේ ලියාපදිංචි නොමැති ඖෂධ තොගයක්, වෛද්‍යවරුන්ට පවා භාවිත කිරීමට නොහැකි තහනම් ඖෂධ තොගයක්, කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සහ විවිධ වර්ගයේ එන්නත් තොගයක් ද තිබුණු බව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය පවසයි.
වැටලීම සඳහා කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය ඉනෝකා වීරසිංහ ගල්ගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සම්පත් සහ කුරුණෑගල දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්‍ෂකවරුන් වන රාජපක්‍ෂ හා හේමන්ත යන අයගේ සහායද ගෙන ඇත. ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන්, එම බළකායේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක මහේන්ද්‍ර පෙරේරා සහ පොලිස් පරීක්‍ෂක ජනිත කුමාර යන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් වැටලීම කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මීගලෑව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර සැකකරුවන් අද (07 වැනිදා) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

