කෝච්චියේ හැප්පිලා අලි මැරෙනවා නම් වගකියන්න ඕනේ වනජීවිය
03 October 2026
කෝච්චියේ හැප්පිලා අලි මැරෙනවා නම් වගකියන්න ඕනේ වනජීවිය
03 October 2026
හරියටම මීට වසරකට පමණ ඉහත සැප්තැම්බරයේ දිනෙක හබරණ කැලයේදී සද්දන්තයෝ දෙදෙනක් මුහුණට මුහුණ ගැටුණහ. ඒ, හබරණ කැලය නිජබිම කරගත් සද්දන්තයකු හා මහ රාත්‍රි ජාමයට හබරණ කැලය දෙවනත් කරමින් කොළඹ දුවන යකඩ යකෙක් අතරය. මේ හටනින් පරාද වුණේ හබරණ සද්දන්තයාය. යකඩ යකා කලඑළි බහින වේලාවට ගමන් මග ඇහිරූ මේ සද්දන්තයා එදා යළි නොඑන ගමන් ගියේය.
සද්දන්තයා වෙනුවෙන් උගේ සනුහරේ උදවිය පෙනී නොහිටියාට වනජීවි දෙපාර්තමේන්තුව සද්දන්තයාගේ පැත්තේ හිටගත්තේ යකඩ යකාට එරෙහිවය. සද්දන්තයා මැරූ වරදට යකඩ යකාට එරෙහිව ඔවුහු නඩු මගට බැස්සහ. කැකිරාව උසාවියේ නඩුව ගොනු කෙරුණේ එම්.ඩී.ඒ.පී. ගුණතිලකට එරෙහිවය.
ගුණතිලක යැයි කියන්නේ සද්දන්තයා දුම්රියේ ගැටුණු වේලාවේ දුම්රිය පැදවූ රියැදුරා ය. එදා සද්දන්තයා ගැටුණු වේලාවේ ගුණතිලක පැදවූ දුම්රිය ත්‍රිරිකුණාමලයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය කරමින් තිබුණේය. ත්‍රිරිකුණාමලයේ සිට මහව දක්වා දුම්රිය රැගෙන යාමේ වගකීම පැවරී තිබුණේ ගුණතිලකටය. එතැන් පටන් ඒ වගකීම තවත් රියැදුරෙකුට පැවරෙන්නේය. රාත්‍රි 7.30ට ගමන් ඇරඹූ දුම්රිය හබරණ කැලය කිට්ටු කරද්දි රාත්‍රි දහය පසුවී තිබුණේය. සද්දන්තයා දුම්රියේ ගැටෙන්නේ හබරණ කැලය වෙලාගෙන උන් ඝන අන්ධකාරය මැද්දේය.
කෙසේ නමුදු ගුණතිලකට එරෙහිව වනජීවී දෙපාර්තමේන්තුව පැවරූ නඩුවට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව විධිමත් පරීක්ෂණයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි අධිකරණයෙන් වනජීවි දෙපාර්තමේන්තුවට දන්වා තිබුණේය. දුම්රිය රියැදුරු ගුණතිලක වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න අධිකරණයේ පෙනී සිටියේය. අලියා හැප්පූ වරදට රියැදුරු ගුණතිලකට විත්ති කූඩුවට නගින්නට වුණේය. ආපසු ගෙදර ගියේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මතය. ඉන් අනතුරුව කිහිප වාරයක්ම නඩුව කැඳවුණේය.
ගුණතිලකගේ නඩුව දෙතුන් දවසකට ඉහතදීද විභාගයට ගැනුණේය. ඒත් ගුණතිලක කළ අපරාධමය වරද සම්බන්ධයෙන් චෝදනා පත්‍රයක් ගොනු කර දෙන්නට වනජීවී නිලධාරින්ට නොහැකි වුණේය. ඒ වෙනුවට ඔවුන් කළේ වසරකට පසු නඩුව ඉල්ලා අස් කරගැනීමය. රියැදුරු ගුණතිලක චෝදනාවලින් නිදහස් කර මුදා හරින්නට කැකිරාව මහෙස්ත්‍රාත් උදාරි ගුණසේකර එදින නියෝග කළාය.
ගුණතිලක වෙනුවෙන් අධිකරණයේ පෙනී උන් ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ එදින අධිකරණය හමුවේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාගේ පන්නයේ අපූරු නීති තර්කයක් ගෙනාවේය. ඔහු තර්ක කළේ වනාන්තර මතින් දිවෙන දුම්රිය මාර්ගවල ධාවනය කෙරෙන දුම්රියෙහි ගැටීමෙන් වල් අලි තුවාල වනවිට හෝ මියැදෙන විට එයට වගකිවයුත්තන් හැටියට දුම්රිය රියැදුරන් නම් කරනවා නම් වනජීවී නිලධාරින්ට එරෙහිවද අධිකරණ ක්‍රියාමාර්ග ගන්නට ඕනෑ බවය. අලියා දුම්රිය මාර්ගයට ආවාට ඔහු චෝදනාව එල්ල කළේ වනජීවි නිලධාරින්ටය. ඔහු එසේ චෝදනා කළේ ඇයි දැයි දැනගන්නට අපට වුවමනා විය. ඔහු අපට කීවේ මෙහෙමය.
“නියමිත වේගය පවත්වාගෙනයි රියැදුරු මහත්තයා එදා ගිහින් තිබුණේ. අලි ඉන්නවද කියලා බලන්න ගියොත් කෝච්චිය යන්න වෙන්නෙ නෑ. දුම්රියක් ස්ටේෂන්වලට යන්න ඕන වෙලාවක් තියෙනවා. ඒ වෙලාවට හරියටම යන්න ඕන. ඉස්සර කිව්වා රේල් පාරට එන අලි ගැන දැනගන්න ජී.පී.එස්. සිස්ටම් එකක් ගේනව කියලා. තවම ඒකත් නැහැ. අපි ඒකයි කියන්නේ දුම්රිය පනතෙන් වනජීවී නිලධාරින්ට නඩු දාන්න පුළුවන් කියලා. එයාලා දැනගන්න ඕන අලින්ට එන්න බැරි වෙන්න ක්‍රමයක් හදන්න. එයාල තමන්ගේ රාජකාරිය කරලා නැහැ. වනසතුන් ආරක්ෂා කරන්න ඕන තමයි. හැබැයි අලියාට තේරෙන්නෙ නැහැ රේල් පාරක් තියෙනවා කියලා. ඒ නිසා මේ අය හරිහමන් සිස්ටම් එකක් හදන්න ඕන. රේල් පාරේ සතෙක් දැකලා කෝච්චිය බ්‍රේක් කළාට එකපාර වදින්නෙ නෑ. මීටර ගණනක් ඉදිරියට ගියාමයි නවතින්නේ...” ජ්‍යෙෂ්ඨ නීතිඥ අනුරුද්ධ විජයරත්න කියන්නේය.
දුම්රියෙහි වල් අලි ගැටීමෙන් මියගිය පළමුවැනි වතාව මෙය නොවේ. ඒ කිසිදු අවස්ථාවක දුම්රිය රියැදුරන්ට එරෙහිව අපරාධමය චෝදනා ගොනු කෙරුණු බවක් අප අසා නැත. අනතුරට මුහුණ දුන් ගුණතිලක යැයි කියන්නේ ද දුම්රියට නුහුරු නුපුරුදු අයෙකු නොවේ. ඔහු හතළිස් වසරක දුම්රිය දෙපාර්තමේන්තු සේවා කාලයක් සම්පූර්ණ කළ අයෙකි. ඒ කාලය ඇතුළත ඔහු දුම්රිය අනතුරු බොහෝමයකට මුහුණ දී තිබිණි. ඉකුත් 2021 වසරේදී විශ්‍රාම ගිය ගුණතිලක යළිදු වාරයක් එම දෙපාර්තමේන්තුවේම කොන්ත්‍රාත් පදනමට සේවයට බඳවා ගෙන ඇත්තේ පළපුරුදු රියැදුරන් දුම්රිය දෙපාර්තමේන්තුවට කළුනික නිසාය. ගුණතිලක පැදවූ දුම්රියට හබරණදී වල් අලියා බිලිවන්නේ එසේ රාජකාරි කරමින් සිටියදීය. මේ එදා ඔහු මුහුණ දුන් සිද්ධිය ගැන ගුණතිලක කියූ කතාවය.
“අපි කැලෑවට ගිහිල්ලා අලි හප්පන්න ගියේ නැහැ. එක පැත්තක කුඹුර තිබුණෙ. අනික් පැත්තෙ තමයි කැලෑව තිබුණේ. කැලෑව පැත්තෙ විදුලි වැටකුත් තිබුණා. අලියා හිටියෙ විදුලි වැට නැති පැත්තෙ. මම ඈත තියලා අලියාව දැක්කෙ නෑ. දැක්ක මොහොතෙම මම බ්‍රේක් කළා. ලොකු දෙන්නයි පැටියකුයි පාර පැන්නා. අන්තිමට ගිය අලියාගේ පිටිපස්සෙ කෝච්චිය වැදුනා. බ්‍රේක් කළත් වදින්න කලින් නවත්තගන්න බැරි වුණා. ඊට පස්සෙයි නැවතුණේ. මොකද වුණේ කියල අපි බැලුවත් සතා පේන්න හිටියෙ නෑ. සතා පිඹිනව වගේ ඈතින් ඇහුණා. මට කරන්න දෙයක් නැති නිසා පාලක මැදිරියට කතා කරල සිද්ධිය කිව්වා. කෝච්චියට හානියක් තිබුණෙ නැති නිසා කැකිරාවට ඇවිත් වනජීවි එකටයි පොලිසියටයි දැනුම් දුන්නා. මාස ගාණකට පස්සෙ මට විරුද්ධව නඩු පවරලා සිතාසි එවලා තිබුණා” රියැදුරු ගුණතිලක කියන්නේය.
කැලය අයිති සතුන්ට වුණාට දුම්රිය මාර්ගයේ අයිතිය ඇත්තේ දුම්රිය දෙපාර්තමේන්තුවට ය. අලියා මිය යන්නේ දුම්රිය දෙපාර්තමේන්තුව සතු දේපළකදීය. දුම්රිය ආඥා පනතේ හැටියට කිසිවකුටවත් අවසරයකින් තොරව රේල් පාරට ඇතුළු වෙන්නට නොහැකිය. නීතියේ හැටියට එය වරදක් ය. අවසර නැතුව දුම්රිය මගේ ගමන් කිරීමේ වරදට රුපියල් තුන්දහසක දඩ මුදලක් පවා නියම කරන්නට පුළුවන. අඩුම තරමේ නිවෙසකට සුරතලයට ඇතිදැඩි කරන සුනඛයකු පවා දුම්රිය මාර්ගයට යොමු කළද දඩ නියම කරන්නට හැකි බව නීතිඥ අනුරුද්ධ කීවේය.
“අපි හිතමු ගෙදර ඇතිකරන බල්ලාව රේල් පාරට දාලා ඌ හැප්පෙනවා කියලා. දුම්රිය ආඥා පනතට අනුව බල්ලාගේ හිමිකරුට නඩු පවරලා දඩ නියම කරන්න පුළුවන්. දුම්රිය පනතට අනුව දුම්රිය ධාවනය වන වේලාවේදී වන අනතුරු සම්බන්ධයෙන් රියැදුරුට එරෙහිව අපරාධමය චෝදනා ගොනු කරන්න බැහැ. එහෙම නම් රටේ වෙන හැම දුම්රිය අනතුරකටම එහෙම චෝදනා ගොනු කරන්න වෙනවා. අලියෙක් නැතුව මනුස්සයෙක් හිටියත් නීතිය ඔහොමයි” නීතීඥ අනුරුද්ධ පැහැදිලි කළේය.
ගැටලුවකට ඇත්තේ මේ නීතිරීති ගැන වල් අලි දන්නේ නැති වීමය. වනජීවි දෙපාර්තමේන්තුව පැත්තට ඇඟිල්ල දිගු වුණේ ඒ නිසාය. ඒ මන්ද යත් කැලේ අලින්ගේ නීත්‍යනුකූල ආරක්ෂකයා වනජීවි දෙපාර්තමේන්තුව වීම නිසාය. නීතිඥ අනුරුද්ධ විජයරත්න පවසන්නේ වනජීවි දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය හරිහැටි කළා නම් දුම්රිය මාර්ගය හරහා අලි ගමන් කරන්නේ නැති බවය. එතැන ඇත්තේ රාජකාරිය පැහැර හැරීමේ චෝදනාවය.
දුම්රිය මාර්ගයට වනසතුන් ගෙනැවිත් දැමීමේ චෝදනාවට හරිනම් වනජීවී නිලධාරින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නට දුම්රිය දෙපාර්තමේන්තුවට පුළුවන. දුම්රිය ආඥා පනතේ 37 වැනි වගන්තියෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට ඒ වෙනුවෙන් ප්‍රතිපාදන සලසා දී ඇත්තේය. එමතු නොවේ දුම්රිය ආඥා පනත යටතේ වරද කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පවා දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරින්ට අවසර ඇත්තේය.
“දුම්රිය ස්ථානාධිපති 1 දුම්රිය නියාමක වැනි නිලයන්ට පහත් ශ්‍රේණියක් නොවන නිලයක් දරන දුම්රිය නිලධාරියකුටද අපරාධ නඩු විධාන සංග්‍රහයේ කෙසේ සඳහන්ව තිබුණද දුම්රියකදී හෝ දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ පාලනය යටතේ ඇති ස්ථානයකදී ඕනෑම පුද්ගලයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන පවත්නා නීතිය යටතේ අවශ්‍ය කටයුතු කිරීම සඳහා පොලිස් නිලධාරියකුට භාර කිරීමේ අයිතිය තිබේ...” දුම්රිය ආඥා පනතේ සඳහන්ව ඇත්තේ එහෙමය.
ගුණතිලක නොව සක්කරයා රියැදුරු අසුනේ සිටියදී වල් අලියෙක් දුම්රිය මාර්ගය හරහා පැන්නත් දුම්රිය නවතා ගන්නවා බොරුය. දුම්රිය අනතුරක් වුණත් රියැදුරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ ඒ නිසාය. විසි වසරකට ඉහතදී වූ යාල්ගංමෝදර දුම්රිය අනතුර ඊට හොඳම උදාහරණය ය. හතළිහකට වැඩි පිරිසකට එදා දිවි අහිමි වුණත් දුම්රිය පැදවූ රියැදුරුට නීතිය ක්‍රියාත්මක කෙරුණේ නැත. මගීන් රැගත් බසයේ රියැදුරුට හා කොන්දොස්තර නම් කොළ නැති ගහේ යවන්නට නියම කෙරුණේය.
මහ මග ගමන් කරන ගිලන් රථ, අවස්ථාව අනුව රථවාහන පොලිස් රථ, ගිනි නිවන රථවලට, මෝටර් රථ වාහන පනතට අදාළව මාර්ග සංඥා නීතිවලින් නිදහසක් හිමිවන්නා සේ දුම්රියටද විශේෂ වරප්‍රසාද හිමිවන්නේය. ඒ මන්ද යත් අනතුරක් දුටුවද රියැදුරුට ඕනෑ හැටියට දුම්රිය නවතා ගන්නට නොහැකි නිසාය. මහ මඟග ගමන් කරන අනෙක් වාහනවලට මෙන් අනතුරක් වළක්වා නොගැනීමේ චෝදනාව දුම්රියට එල්ල කළ නොහැකිය. දුම්රිය මාර්ගයේ ගමන් කළ හැකි එකම වාහනය දුම්රිය පමණය. වැඩිමනක් දුම්රිය අනතුරු වෙන්නේ එහි රියැදුරුගේ වරදින් නොවේ. දුම්රිය රියැදුරුට විශේෂ වරප්‍රසාද හිමිවන්නේ ඒ නිසාය.
කොටින්ම කියනවා නම් අනතුරකින් පසු දුම්රිය රියැදුරුගේ මනසට සහනයක් ලැබෙනතුරු රාජකාරියෙන් නිවාඩු ගන්නත් අවසර ඇත්තේය. ඒත් මේ කාරිය දැන් නොකෙරෙන්නේ අපේ රටේ වන දුම්රිය අනතුරුවල තරමට දුම්රිය රියැදුරන් නිවාඩු ගතහොත් රාජකාරි කරන්නට කිසිවෙකුත් නැති නිසාය. ඒත් අනතුරක් දැක දැකම එය වළක්වාගන්නට නොහැකි වීමෙන් දුම්රිය රියැදුරෝ කම්පනයට පත්වන අවස්ථා ද එමටය. ඒ ගැන අපට කීවේ විසි වසරකට අධික කාලයක් දුම්රිය එන්ජින් රියැදුරකු ලෙස සේවය කළ දුම්රිය රියැදුරු සංගමයේ ලේකම් චන්දන වියන්දූව ය.
“මං පැදවූ කෝච්චියට දෙවාරයක්ම වල් අලි හැප්පුනා. පළමුවැනි වතාව මින්නේරියේදී. පාර දෙපැත්තම පල්ලම. පැයට කිලෝමීටර හතළිහක වේගයෙන්වත් මම ගියේ නැහැ. එක අලියෙක් එකපාරටම පාරට නැග්ගා. අලියා හැරෙන්නෙ නැති නිසා නැග්ග ගැම්මටම ඉස්සරහට ආවා. අලියාට තමන්වම පාලනය කරගන්න බැරි වුණා. කෝච්චි එන්ජිමේ පැත්තක අලියා වැදිලා පල්ලමට වැටුණා. ඌ එකපාරම නැතිවුණේ නෑ. සතියක් විතර පණ අදිමින් හිටියා. වනජීවී එකෙන් සතාට බෙහෙත් කළා. එයාව දැක දැක මටම ආයෙ එතැනින් කෝච්චිය අරන් යන්න බැරි නිසා නිවාඩු දැම්මා. වැලිකන්දේ දී මීනගයා අරගෙන කන්ද නගිනකොට තවත් වතාවකදී අලියෙක් වැදුනා. පාරෙ අලිවැට නැති පැත්තෙ ඉඳලා අලිවැට තිබුණ පැත්තට අලියා යන්න හැදුවෙ. අලි වැට නිසා යන්න බැරි වුණා. කන්ද නැගලා පල්ලම බහින ගමන් හිටපු නිසා මට කෝච්චිය නවත්තගන්න බැරි වුණා. කෝච්චිය නවතින්න අඩියක් වගේ තියෙද්දි අලියා වැදුණේ...” රියැදුරු චන්දන වියන්දූව කියන්නේය.
මේ කිසිදු අවස්ථාවක තමන්ට එරෙහිව කිසිදු විමර්ශනයක් නොපැවැත්වූ බව හෙතෙම කියන්නේය. ඒත් මනුස්සයෙක් ගැටුණු අවස්ථාවකදී නම් කටඋත්තර දෙන්නට යන්න වෙන බව හෙතෙම අපට කීවේය. ඒ අනතුර දුටු පළමු සාක්ෂිකරුවා වන්නේ දුම්රිය රියැදුරු නිසාය. මරණය වූයේ සිතාමතාද නොදැනුවත්කමින්ද එසේත් නැත්නම් කලින් ඝාතනය කළ එකක්දැයි යන්න නිගමනය කරන්නේ දුම්රිය රියැදුරාගේ කටඋත්තරයෙන්ය. එවැනි අවස්ථාහිදී දුම්රිය රියැදුරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගත්තද කම්පනයට පත්වන අවස්ථා එමටය. යම් හෙයකින් මියගොස් ඇත්තේ හය හතර නොදත් කුඩා දරුවෙක් නම් දුම්රිය රියැදුරුට වන සිත් තැවුලද වැඩිය. මියගිය උදවියගේ පවුලේ අය හමුවෙන විටදී ඒ සිත් තැවුල දෙගුණ තෙගුණ වන්නේය. වන සතුන් ගැටුණු විටද සිත්තැවුල එසේමය.
ඔහු කියන හැටියට වල් අලියකු දුම්රිය මාර්ගයේ සිටින්නේ නම් දුම්රිය නවතා ගන්නට නම් මීටර හත් අටසීයක්වත් දුරින් අනතුර දකින්නට වුවමනාය. එයද දුම්රියේ සිටින මගීන් ගණන අනුව වෙනස් වෙන්නේය. මගීන් ගණන වැඩි නම් දුම්රිය නවතාගන්නට යන වේලාව වැඩිය. රියැදුරු චන්දන කියූ පරිදි ඔහුගේ අත්දැකීමේ හැටියට බොහෝ අවස්ථාහිදී වල් අලි ඉන්නේ වංගුවලය. අලියෙකු සිටින බව දුර තියා දැකීම අසීරු ය.
මේ තරම් වල් අලි දුම්රියේ ගැටෙන්නට හේතු වූ තවත් සුවිශේෂි කාරණාවක් චන්දන අපට කීවේය. ඒ වල් අලි දුම්රිය නළා ශබ්දයට සංවේදී නොමැති වීමය. චන්දන අනුමාන කරන්නේ වල් අලින්ට දුම්රිය නළා ශබ්දයේ සංඛ්‍යාත පරාසය ඇහෙන්නේ නැති බවය. ළඟ ළඟම අනතුරක් එන බව දන්වන්නට දුම්රිය රියැදුරු නළාව මත හිඳගෙන එය නාද කළත් බීරි අලින් සේ උන් සිටින්නේ ඒ නිසා වෙන්නැතිය.
දුම්රියේ මාර්ගයට එන වල් අලින්ගේ පැහැය නිසාද උන් හඳුනාගැනීම අසීරු බව රියැදුරු චන්දන අපට කීවේය. ඔහු කියන්නේ පෙරහරේ දකින තද කළු පැහැති අලි මෙන් වල් අලි කළු පැහැයෙන් අඩු බවය. උන් හඳුනාගැනීම අසීරුය. පැටියෙකු සිටින අලි කිසිදු අවස්ථාවක පැටියා දමා දුම්රිය මාර්ගයෙන් ඉවතට යන්නේ නැත. වැඩුණු අලි තරම් වේගයෙන් දුම්රිය මාර්ගයෙන් ඉවත් වෙන්නට පැටවුන්ට නොහැකිය. වැඩුණු අලියා දුම්රිය එන බව දුටුවත් පැටියා රැක ගන්නට දුම්රියට බිලි වන්නේය.
වල් අලියකු ගැටුණු විට දුම්රිය දෙපාර්තමේන්තුවට වන හානියද බොහෝය. ඇතැම්විට දුම්රියට සේම දුම්රිය මාර්ගයේ පීලි, සිල්පර කොටන්වලටත් හානි වන අවස්ථා ඇත්තේය. දුම්රියේ ගැටුණු අලියා සිටින්නේ මාර්ගය මැද නම් ඌ එතැනින් ඉවත් කරනතුරු දුම්රිය මගීන් සියල්ලෝම රස්තියාදුවේය. දුම්රිය රියැදුරන් සෑම අවස්ථාවකදීම වෙර දරන්නේ අනතුර වෙන්නට පෙර දුම්රිය නවතා ගැනීමටය. රියැදුරුගේ වුවමනාවේ හැටියට දුම්රිය ප්‍රතිචාර නොදැක්වීම අවාසනාවය.
වල් අලින් දුම්රියෙහි ගැටීම් අඩු කරන්නට අලියාගේ ශරීර උෂ්ණත්වය සහ ශරීර ස්කන්ධයට සංවේදී කැමරාවක් දුම්රියට දෙන්නට සූදානම් වෙන බව චන්දන කියන්නේය. කිලෝමීටරයක් ඇතුළත වල් අලියෙක් සිටින්නේ නම් එමගින් අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කරන්නේය. ඒත් කැලේ අලි දුම්රිය පාරට ඒම වළක්වන්නට ඉන් නොහැකිය.
“හැමෝම උත්තර හොයන්නෙ කෝච්චි එන්ජිමට. උත්තර හොයන්න තියෙන්නෙ කෝච්චි අලියා පාරට එන එක වළක්වන්න ක්‍රමයක්...” චන්දන සියලු දුම්රිය රියැදුරන් වෙනුවෙන් හඬ අවදි කළේය.
අනීෂා මානගේ

