brand logo
logo
 ශිරන්ති රාජපක්ෂ රිමාන්ඩ් කළ නඩුවේ සම්පූර්ණ කතාව

ශිරන්ති රාජපක්ෂ රිමාන්ඩ් කළ නඩුවේ සම්පූර්ණ කතාව

07 October 2026

සිරිලිය සවිය' ගිණුම තුළ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා චෝදනාවට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ඔක්තෝබර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (7) නියෝග කළේය.


අදාළ ගිණුම සම්බන්ධයෙන් සිදුවූ බව කියන අක්‍රමිකතාවක් පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය පසුගියදා යළි විමර්ශන ආරම්භ කළේය.


ඒ අනුව ඊට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ශිරන්ති රාජපක්ෂට සැප්තැම්බර් 24 පැමිණෙන්නැයි දැනුම්දුන්නද, ඇය ඒවනවිට සිටියේ රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින්ය.


එම ප්‍රතිකාර අවසන් වූ පසු ශිරන්ති රාජපක්ෂ වැඩිදුර ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටව ගියාය.


අනතුරුව ඇය ඔක්තෝබර් 6 වැනිදා අලුයම මෙරටට පැමිණි අතර, ඇයට ඔක්තෝබර් 13 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින්නැයි එම කොට්ඨාසය දැනුම් දුන්නේය.


එවන් පසුබිමක අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසමේ නිලධාරීන් 'සිරිලිය සවිය' ගිණුම සම්බන්ධයෙන් සිදුකරන තවත් විමර්ශනයක් සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද උදෑසනම ශිරන්ති රාජපක්ෂ මහත්මිය පදිංචි කිරුළපන, පූර්වාරාම මාවතේ පිහිටි නිවස වෙත පැමිණියේය.


පෙ.ව. 8ට පමණ අදාළ ප්‍රකාශය සටහන් කිරීම ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද නිවස තුළ සිටියේය.


පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ශිරන්ති රාජපක්ෂ, විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.


අනතුරුව විමර්ශන නිලධාරීන් ඇයව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත රැගෙන ආවේය.


මේ අතර සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති, හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ප්‍රදීප් කාරියවසම් මහතා ද අල්ලස් කොමිසම විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


අල්ලස් කොමිසමේදී පැය 6කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව සැකකාර ශිරන්ති රාජපක්ෂ සහ ප්‍රදීප් කාරියවසම් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පස්වරුවේ ඉදිරිපත් කළහ.


එම අවස්ථාවේදී හිටපු අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියද අධිකරණයට පැමිණියේය.


සැකකාර ප්‍රදීප් කාරියවසම් සහ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දැක්වු අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් පැවසුවේ,


'කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීමට යැයි පවසා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ තිබූ රුපියල් මිලියන 10ක රජයේ මුදල් නිසි ක්‍රමවේදයෙන් බැහැරව 'සිරිලිය සවිය' සංවිධානය වෙත ලබාදීම සහ එම මුදල සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීම' සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා ගොනුකර ඇති බවය.  


අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර නීති අධ්‍යක්ෂ නීතිඥ යෂ්මදා ලොකුනාරංගොඩ මහත්මිය අධිකරණයේ පෙනී සිටියේය.


"ස්වාමිනි, 2015 වසරේ දූෂණ විරෝධී පෙරමුණ ගොනුකළ ලිඛිත පැමිණිල්ලකට අදාළවයි මේ විමර්ශනය ආරම්භ කළේ. ඒ මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ 'සිරිලිය සවිය' නැමැති ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්.


පසුව ඒ පිළිබඳ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සමග ඒකාබද්ධ විමර්ශනයක් කළා.


එහිදී හෙළිවුණා 2010 වසරේ සැකකාර ශිරන්ති රාජපක්ෂ රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් ලබාගැනීම සඳහා යැයි පවසමින් කළ ලිඛිත ඉල්ලීමකට අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් 'සිරිලිය සවිය' ගිණුමට බැරකර ඇති බව.


එවකට ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිවරයා මේ පළමු සැකකාර ප්‍රදීප් කාරියවසම්. එම බැංකුවේ එවකට අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටි සාමාජිකයන් පවසා තිබෙනවා මේ මුදල් බැරකිරීම සාමාන්‍ය ක්‍රමවේදයෙන් පරිබාහිරව සිදුවුණා කියලා.


ඒ අනුව ප්‍රදීප් කාරියවසම් අල්ලස් පනතේ 70 වගන්තිය යටතට වැටෙන දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත්, දෙවන සැකකාර ශිරන්ති රාජපක්ෂ ඊට ආධාර අනුබල දීම සහ එම මුදල සිය පෞද්ගලික පරිහරණයට යොදාගැනීම තුළ පොදු දේපළ පනත යටතේ වැටෙන වරදත් විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.


ඒ වගේම ස්වාමිනි මේ 'සිරිලිය සවිය' ගිණුමට බැරවෙලා තියෙන්නේ මේ කියන මිලියන 10 පමණක් නොවේ. දැනට අනාවරණය වී තිබෙනවා එවක විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලක්ෂ 88ක් සහ හුවාවි කියන සමාගමෙන් මිලියන 22ක් මේ සිරිලිය සවිය ගිණුමට බැරකර ඇති බව.


ඒ වගේම අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත යටතේත් දැන් විමර්ශන සිදුකෙරෙනවා. එම විමර්ශනයේදී දැනට අනාවරණ වී තිබෙනවා ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සිට ලද මේ ප්‍රශ්නගත මුදලින් ටොරින්ටන් ප්‍රදේශයේ නිවසක් මිලදීගෙන ඇති බව. 


එබැවින් ස්වාමිනි මේ දෙවන සැකකාරියට විරුද්ධව පොදු දේපල පනතේ 8 (1) ප්‍රකාරව සහතිකයක් ඉදිරිපත්කර ඇති බැවින් ඇය නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අප ඉල්ලා සිටිනවා".


අනතුරුව සැකකාර ප්‍රදීප් කාරියවසම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස මහතා ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.


"ස්වාමිනි, මගේ සේවාදායකයාට එරෙහිව එල්ලකරලා තියෙන්නේ අල්ලස් පනතේ 'දූෂණය' නැමැති වරද. ඒ කියන්නේ එය ඇප ලබාදිය හැකි වරදක්.


මේ සිදුවීම සම්බන්ධයෙන් මුල් පැමිණිල්ල ඇවිල්ලා වසර 11කට පසුවයි අද මෙහෙම මගේ සේවාදායකයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ. ගෙවීගිය කාලය තුළ මොහු කිසිදුවිටක සාක්ෂිකරුවන්ට බලපෑම්වන ආකාරයෙන් හැසිරිලා නැහැ.


මොහු Sleep Apnea රෝගයට 2023 වසරේ සිට ප්‍රතිකාර ලබනවා. මොහුගේ හිසේ අභ්‍යන්තරයේ ගෙඩි 03ක් තියෙනවා. අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදි සෑම රෝගයම මොහුට තියෙනවා. මෙම සියලු කරුණු සලකාබලා මගේ සේවාදායකයා ඇපමත මුදාහරින්න කියා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා."


අනතුරුව ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සැකකාර ශිරන්ති රාජපක්ෂ වෙනුවෙන් ඇප අයැදුමක් ඉදිරිපත් කළේය.


" ස්වාමිනි, 'සිරිලිය සවිය' කියන්නේ 2006 වසරේ සිටම සුබසාධක වැඩවල නිරතවුණු රජයේ අනුමත සුබසාධක සංවිධානයක්.ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඔවුන්ගේ ප්‍රජා සත්කාර සඳහා පවතින මුදල් තමයි 'සිරිලිය සවිය' ගිණුමට බැර කරලා තියෙන්නේ. අපි නැහැ කියන්නේ නැහැ. අදත් ඔය මුදල් ඔය කියන සුදුවැල්ල ශාඛාවේ ගිණුමේ තියෙනවා. 


මොකද අපිට CT ස්කෑන් යන්ත්‍රය මිලදී ගැනීමට රුපියල් මිලියන 160ක මුදලක් අවශ්‍ය වුණාට 2014 වෙද්දිත් අපිට එකතුවෙලා තිබුණේ මිලියන 42යි. 2014 දී ආණ්ඩු පෙරලුනා විතරයි ඔය කියන පැමිණිල්ල ලැබුණාම අපේ ගිණුම තහනම් වුණා.


ඉතිං ස්වාමිනි දූෂණයක් වුණේ නැහැ. මොකද ගිණුම තහනම් කරපුවාම මුදල් එකතු වෙන එක නැවැතුණා. රුපියල් මිලියන 160ක CT ස්කෑන් යන්ත්‍රය මිලියන 42කට ගන්න බැරි නිසයි අපිට එම යන්ත්‍රය ගන්න බැරිවුණේ. නැතුව මෙතන කිසිම වරදක්වෙලා නැහැ. 


ගිණුමේ තහනම ඉවත් වුණානම් අදටත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ඕනේනම් ඔය මුදල ගන්න පුළුවන්. අවාසනාවකට රාජපක්ෂ කෙනෙක් නිසා මේ තත්ත්වය උදාවෙලා.


මගේ සේවාදායකයා අදත් මේ අධිකරණයට ඇවිල්ලා ඉන්නේ අක්ෂි ශල්‍යකර්මයකට භාජනයවෙලා. එහෙම කෙනෙක්ව බන්ධනාගාරයේ නවත්වන්න පුළුවන්ද. එහෙම වුණොත් මගේ සේවාදායකයා සදාකාලිකව අන්ධ වෙනවා. ඇයට අවුරුදු 73ක්. 2019 සිට මැය හෘද රෝගී තැනැත්තියක්.


2021 වසරේ ඇයගේ මොළයේ කරපු පරීක්ෂණයකින් අනාවරණය වුණා එහිද රෝගී තත්ත්වයක් පවතින බව. පිටකොන්දේ කොදුඇට පෙළෙහිද ආබාධ තත්ත්වයක් තියෙනවා. මේ තත්ත්වය තුළ ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීම තුළ බරපතළ ජීවිත අවදානමක් ඇතිවෙන්න පුලුවන්". 

 

More News..