සති දෙකකින් අමතක වන රිය අනතුරු
18 November 2026
සති දෙකකින් අමතක වන රිය අනතුරු
18 November 2026
සිංහල මිනිසුන්ට ඕනෑ දෙයක් මතක සති දෙකක් යැයි පුවත්පත් තීරු රචකයෙක් වරක් ලිව්වේය. විය යුතු පරිද්දෙන් සති දෙකකට පසු එය කිව්වේ කවුදැයි සිංහල මිනිසුන්ට අමතක විය. එහෙයින් ඔවුහු ඒ කියමන සිංහලයන්ගේ පරම සතුරු ප්රභාකරන්ගේ ගිණුමට බැර කළහ.
අප මේ සංඥාපනය ලිව්වේ අනෙකකට නොව රිය අනතුරු ගැන මේ රටේ මිනිසුන්ගේ මතකය පිළිබඳව ලියන්නටය. අපේ රටේ බරපතළ රිය අනතුරක් සිදුවූ වහාම ආණ්ඩුව අනාගත රිය අනතුරු වැළැක්වීමට අනේක පියවර ගනියි. සති දෙකක් ගතවන්නටත් පෙරම ආණ්ඩුවට පමණක් නොව රිය අනතුරට භාජනය වූ ටිකදෙනා හැරෙන්නට රටටම එය අමතකය.
ගිය සතියේ අඟහරුවාදා අනුරාධපුර, රඹෑවේදී ලංගම බස් දෙකක් හා පෞද්ගලික බසයක් ගැටී පස්දෙනෙක් මිය ගොස් හැත්තෑ ගණනක් තුවාල ලැබූහ. වෙනදාට අනතුර සිදුවූ ස්ථානයට දිවගොස් මින් ඉදිරියට රටේ රිය අනතුරු නවත්වන බවට දිවුරා පොරොන්දු වන ඇමැතිවරුන් මෙවර දකින්නට නොලැබුණු අතර ආණ්ඩුවද වෙනදා මෙන් රිය අනතුරු වැළැක්වීමට පවත්වන කමිටු කිසිවක් පත් කළේ නැත. අවුරුදු දෙකක පළපුරුද්දක් ඇති ආණ්ඩුවද අපේ මිනිසුන් සති දෙකකින් මීට වැඩි දෙයක් වුවත් අමතක කරන බව අත්දැකීමෙන් ප්රත්යක්ෂ කරගෙන ඇති සේය.
මේ අවුරුද්දේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 6 වැනිදා දක්වා වන කාලයේදී රටපුරා මාරක රිය අනතුරු 2000ක් සිදුවී ඇති අතර ඉන් 2300 දෙනකු මියගොස් තිබේ. වෙනත් වචනවලින් කියතොත් මහමග යන සෑම වාහනයක් මෙන්ම එහි ගමන් කරන සෑම කෙනෙක්ම ගමනේ යෙදෙන්නේ කොයි මොහොතක වුව රිය අනතුරකට ලක්වීමේ නැත්නම් රිය අනතුරකින් මියයෑමේ, ආබාධිත වීමේ හා මාරාන්තික තුවාල ලැබීමේ අවදානම ඇතුවය. එහෙත් හැම අවුරුද්දකම රිය අනතුරු පිළිබඳ ගණන් හිලව් ඉහළ නගින්නේ මිස පහළ බහින්නේ නැත.
රිය අනතුරක් සිදුවූ වහාම ආණ්ඩුව එක්කෝ කමිටුවක් පත්කරමින්ද, රියැදුරන්ට ලකුණු ලබාදෙන ව්‍යාපෘතියක් නිවේදනය කරමින්ද, අධිවේගී මාර්ගවල ආසන පටි අනිවාර්ය කරමින්ද තමන් අවදියෙන් සිටින බව පෙන්නුම් කරයි. එහෙත් රිය අනතුරු දිගටම සිද්ධ වෙයි. ඒ ආණ්ඩුව රිය අනතුරුවලින්ද දේශපාලනය කරනවා විනා රිය අනතුරු වැළැක්වීමට කටයුතු කරනවා නොවන බැවිනි.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ වහාම "ක්ලීන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතිය යටතේ බස් රථ හා ත්‍රිරෝද රථවල ආරලු බූරලු ගැලවීමේ ව්‍යාපෘතියක් ඇරඹුවේ ඉන් රියැදුරන්ට මාර්ගය නොපෙනී යාමෙන් රිය අනතුරු වැඩිවන බව කියමිනි. එහෙත් අද වන විට ආරලු බූරලු ව්‍යාපෘතිය මතු නොව "ක්ලීන් ශ්‍රී ලංකා" ව්‍යාපෘතියද ආගිය අතක් නැත. විපක්ෂයේ සිටියදී රටේ ඇතිවූ සෑම ආපදාවකදීම ශ්‍රමදානයෙන් මිතුරන්ගේ මෙන්ම සතුරන්ගේද ප්‍රසාදය දිනාගත් ඔවුන්ට ආණ්ඩු බලයද ඇතිව ඇරඹූ "ක්ලීන් ශ්‍රී ලංකා"වැනි ව්‍යාපෘතියක් සාර්ථක කරගැනීමට නොහැකි වීම නම් පුදුම සහගතය.
අද රටේ රිය අනතුරු සම්බන්ධයෙන් කතා කිරීමේදී කතා නොකර බැරි කාරණා කීපයක් තිබේ. එකක් අධිවේගී මාර්ගද තවෙකක් දුම්රිය හරස් පාරවල්ද අනෙක බස්, ලොරි, ටිපර් වැනි බර වාහනද වේ. ඒ හැරුණු විට මහා මාර්ගවල යෝග්‍යතාවය හා පාරේ ගමන් කරන වාහන සංඛ්‍යාව ඊට ඔරොත්තු දෙන්නේද යන කාරණාය.
ආණ්ඩුව රිය අනතුරු වැළැක්වීමේ දැවැන්ත වැඩපිළිවෙළවල් ගැන කතා කළද වේග සීමාවන් තිබියදීත් අධිවේගී මාර්ගවල සිදුවන බරපතළ රිය අනතුරු වැළැක්වීමට කළ දෙයක් ගැන අසන්නට නැත. අනාරක්ෂිත දුම්රිය හරස් පාරවල් නිසා සෑම අවුරුද්දකම වාහන ගණනාවක් කුඩුපට්ටම් වී, ජීවිත ගණනාවක් අහිමි වී ගියද ඊළඟ අනතුරු සිදුවන තුරු ඒ ගැන කෙරෙන දෙයක් නැත. මාර්ගයේ ගමන් කරන සෑම වාහනයකට තර්ජනයක් වී ඇති බස්, ලොරි හා ටිපර්වල රියැදුරන් හික්මවා ගැනීමටද කවුරුවත් කිසිවක්වත් කරන්නේ නැත.
බස් රියැදුරන් ඇතුළු සෑම තරාතිරමකම රියැදුරන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසු වාහන ධාවනයේ යෙදීම රිය අනතුරුවලට ප්‍රධාන හේතුවක් බව කවුරුත් දනිති. මත්ද්‍රව්‍ය භාවිත කරන රියැදුරන් ඇල්ලීමේ වැඩසටහන් ගැන ලැබෙන ප්රචාරයේ තරමට වැඩ සිද්ධ වන්නේ නැත්තේ එය රියැදුරන්ට බයවන්නට තරමේ පීඩනයක් එල්ල කර නැති බැවිනි. එහෙත් මත්පැන් පානය කර රිය පදවන්නන් විශාල වශයෙන් අඩුවී ඇත්තේ පොලිසියට හසුවුවහොත් ලැබෙන දඬුවම රියැදුරන් අතරේ සමාජගත වී ඇති නිසාය.
මේ ලියවිල්ල පටන්ගත් තැනටම ආපසු ගියහොත් සති දෙකකින් ඕනෑම බරපතළ කාරණයක් අමතක කිරීමේ ජාතික දුර්වලතාවය ජයගන්නා තෙක් අපට රිය අනතුරු නොව රටේ කිසිදු ප්‍රශ්නයක් විසඳීමට නුපුළුවන් වනු ඇත. තිස් අවුරුදු යුද්ධය අවසන් කිරීමේ වටිනාකම අමතක කළ රටකට මෙබඳු ලියවිල්ලක් සති දෙකක් නොව දවස් දෙකක් ගතවන්නටත් පෙර අමතක වන බව අපි සහසුද්දියෙන් දනිමු. එබැවින් රිය අනතුරු අඩු කිරීමට නම් පළමුව අපේ අමතක කිරීමේ රෝගය සුවකරගෙන සිටිය යුතුය.


