ඔක්කොම ලෙඩ සනීප කරන්න විටමින් C හපන්නෙක්ද?
09 September 2026 | ශ්‍රීනි ලංකා ජයකොඩි
ඔක්කොම ලෙඩ සනීප කරන්න විටමින් C හපන්නෙක්ද?
09 September 2026 | ශ්‍රීනි ලංකා ජයකොඩි
විටමින් C යනු මිනිස් සිරුරට තනිවම නිපදවිය නොහැකි, ජලයේ දිය වන විටමින් වර්ගයකි. අප විසින් එය නිතිපතා ආහාර සහ අවශ්‍ය විටෙක අතිරේක මගින් ලබා ගත යුතුය. පලතුරු සහ එළවළු තුළ විටමින් C බහුලව දක්නට ලැබේ. සෙම්ප්‍රතිශ්‍යාව වැළැක්වීමේ සිට සම ආරක්ෂා කිරීම දක්වා පෝෂ්‍ය පදාර්ථයක් ලෙස විටමින් C වැදගත් වන ආකාරය පිළිබඳ අපි අසා ඇත්තෙමු. එනමුත්, මෙම ජනප්‍රිය විටමිනය පිළිබඳ අප අසනා දකිනා දේවලින් කොපමණ ප්‍රමාණයක් ඇත්ත වශයෙන්ම සත්‍ය දැයි සොයා බැලීම වටියි. අමතර විටමින් C ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව නතර වේද? එයින් හෘද රෝග වළක්වා ගත හැකි ද? එම විටමිනය සෑම විට ම යහපත් ද? සොයා බලමු.
ශරීරයට විටමින් C අවශ්‍ය වන්නේ ඇයි?
විටමින් C ශරීරය තුළ අත්‍යවශ්‍ය කාර්යයන් කිහිපයක් ඉටු කරයි. එහි වැදගත්ම කාර්යභාරය වන්නේ සමටත් කණ්ඩරාවන් හා බන්ධනීයන්ට මෙන්ම රුධිර නාලවලටත් ව්‍යුහය සපයන ප්‍රෝටීනයක් වන “කොලැජන්” නිපදවීමට උපකාර කිරීමයි. ශරීරයෙහි ඇති වන තුවාල අලුත්වැඩියා කර, කැළැල් පටක සෑදීම සඳහා කොලැජන් ද ඉතා වැදගත් වේ.
විටමින් C නිරෝගී අස්ථි, කාටිලේජ සහ දත් පවත්වා ගැනීමට දායක වේ. තවත් වැදගත් කාර්යයක් වන්නේ ශාක පදනම් කරගත් ආහාරවලින් යකඩ අවශෝෂණය කරගැනීම සඳහා ශරීරයට උපකාර කිරීමයි. ඔබේ ආහාර වේලෙහි බෝංචි, පරිප්පු සහ කොළ පැහැති එළවළු වැනි යකඩ බහුල ආහාර අඩංගු වන විට ඒවා සිරුරට ඇතුළු කරගැනීම සඳහා මෙය විශේෂයෙන් ප්‍රයෝජනවත්ය.
විටමින් C අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය සමගද සමීප ව සම්බන්ධ වේ. ප්‍රතිඔක්සිකාරකයක් ලෙස, විටමින් C සෛලවලට හානි කළ හැකි අස්ථායී අණු උදාසීන කරයි. වයසට යාම සහ නිදන්ගත රෝග ගණනාවක් සමග සම්බන්ධ වී ඇති අධික ඔක්සිකාරක ආතතිය, විටමින් C හරහා මැඬ පැවැත්වෙයි.
ස්නායු සෛල එකිනෙකා සමග සන්නිවේදනය කිරීමට උපකාරී වන ඇතැම් ස්නායු සම්ප්‍රේෂක හා රසායනිකයන් නිෂ්පාදනයටද විටමින් C සහාය වන බව සත්‍යයකි. එබැවින්, විටමින් C බොහෝ විට "ප්‍රතිශක්තිකරණ වර්ධකයක්" ලෙස සලකනු ලැබූවද ශරීරය තුළ එහි කාර්යභාරය අප දන්නා ප්‍රමාණයට වඩා බෙහෙවින් පුළුල් වේ.
1. මිථ්‍යාව - ඔබ තුළ විටමින් C වැඩි වන තරමට, ඔබ සෞඛ්‍ය සම්පන්න වනු ඇත.
සත්‍යය - ඔබේ ශරීරයට විටමින් C අවශ්‍ය වේ. එනමුත්, විශාල මාත්‍රාවන් ගැනීම සුදුසු නොවේ.
ශරීරය තුළට විටමින් C අවශෝෂණය කොට භාවිත කළ හැකි ප්‍රමාණයට සීමාවක් ඇත. ආහාර අවශ්‍යතා සපුරා ගත් පසු, සැලකිය යුතු ලෙස විශාල ප්‍රමාණයකින් එය ලබා ගත්තාය කියා අමතර සෞඛ්‍ය ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැත.
වයස අවුරුදු 19ට වැඩි වැඩිහිටියන් සඳහා, නිර්දේශිත දෛනික විටමින් C පරිමාව සාමාන්‍යයෙන් පිරිමින් සඳහා මිලිග්‍රෑම් 90ක් සහ කාන්තාවන් සඳහා මිලිග්‍රෑම් 75ක් වේ. ගර්භණී සමයේ දී එය මිලිග්‍රෑම් 85 දක්වා ඉහළ යන අතර මව්කිරි දෙන කාන්තාවන් සඳහා මිලිග්‍රෑම් 120ක් පමණ අවශ්‍ය වේ.
දුම් පානය කරන්නන්ට විටමින් C ගැනීමේ වැඩි අවශ්‍යතාවක් ඇත. දුම්පානය ඔක්සිකාරක ආතතිය වැඩි කරන අතර විටමින් C මට්ටම අඩු කරයි. එබැවින්, ඔවුන්ට දුම් නොබොන්නන්ට වඩා දිනකට විටමින් C මිලිග්‍රෑම් 35ක් ලබා ගැනීමට උපදෙස් දෙනු ලැබේ.
බොහෝ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයන් සඳහා මෙම නිර්දේශ ප්‍රමාණවත් වේ. කෙසේ නමුත්, වයස, ජීවන රටාව සහ ඇතැම් සෞඛ්‍ය තත්ත්වයන්ට අනුව පුද්ගල අවශ්‍යතා වෙනස් විය හැකිය.
2. මිථ්‍යාව - විටමින් C අධික මාත්‍රාවක් ගැනීම හානිකර නොවේ. මන්දයත්, එය ජලයේ දිය වන බැවිනි.
සත්‍යය - අධික මාත්‍රාවක් ලබාගැනීම ගැටලු ඇති කළ හැකිය.
විටමින් C ජලයේ ද්‍රාව්‍ය වන බැවින්, මේදයේ දිය වන විටමින් වර්ග ගබඩා කරනා ආකාරයට විශාල ප්‍රමාණවලින් ඒවා සිරුර තුළ ගබඩා නොවන බව සැබෑවකි. එබැවින්, ඉතා විශාල ප්‍රමාණවලින් විටමින් C ගැනීම අවදානම් රහිත වෙතැයි සිතේ.
එනමුත්, එය එසේ නොවේ.
වැඩිහිටියන් සඳහා, සියලුම ප්‍රභවයන් හරහා දිනකට ගත හැකි ඉහළ ම විටමින් C සීමාව මිලිග්‍රෑම් 2,000ක් පමණි. මෙයට වඩා වැඩිපුර ගැනීම පාචනය, ඔක්කාරය සහ බඩේ කැක්කුම වැනි අප්‍රසන්න රෝග ලක්ෂණ ඇති කරයි. තව ද, විටමින් C ඉතා අධික මාත්‍රාවකින් ලබාගැනීම විශේෂයෙන් වකුගඩු ආබාධ ඇති පුද්ගලයන් තුළ වකුගඩු ගල් ඇතිවීමේ අවදානම වැඩි කරයි. පාරම්පරික හිමොක්‍රොමැටෝසිස් වැනි අධික යකඩ අවශෝෂණය හා සම්බන්ධ තත්ත්වයන් ඇති පුද්ගලයන් ද වැඩිපුර විටමින් C ගැනීම පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
ගර්භණී කාන්තාවන් ද වෛද්‍ය උපදෙස්වලින් තොරව අනවශ්‍ය ලෙස විටමින් C ඉහළ මාත්‍රාවලින් ගැනීමෙන් වැළකී සිටිය යුතු ය.
3. මිථ්‍යාව: විටමින් C සෙම්ප්‍රතිශ්‍යාව වළක්වයි.
සත්‍යය: එය සාමාන්‍යයෙන් ඔබට සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම වළක්වන්නේ නැත.
විටමින් C හරහා සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගත හැකි බවට ඇති විශ්වාසය 1970 ගණන්වල දී ජනප්‍රිය වූවක් වන අතර වර්තමානයේ දීත් එය සැලකිය යුතු ලෙස පිළිගැනෙයි. කෙසේ වෙතත්, විටමින් C නිතිපතා ගැනීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව වැලඳීම වැළැක්වෙන බවට ඇති අදහසට සහාය දැක්වීමට මෙතුවක් කරන ලද පර් යේෂණ බොහෝදුරට අසමත් වී ඇත.
නිතිපතා විටමින් C ගැනීමෙන් ඇතැම් පුද්ගලයින් තුළ සෙම්ප්‍රතිශ්‍යා රෝග ලක්ෂණවල කාලසීමාව හෝ බරපතළකම තරමක් අඩු කළ හැකි බවට සාක්ෂි තිබේ. එනමුත්, එය සෙම්ප්‍රතිශ්‍යාව සම්පූර්ණයෙන් වැළැක්වීමට වඩා බෙහෙවින් වෙනස් ය.
ප්‍රමාණවත් විටමින් C පරිමාවක් සපයන සමබර ආහාර වේලක් ගැනීම සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය සඳහා ප්‍රමාණවත් වේ. එබැවින්, කිවිසුම් යාමට පටන් ගන්නා විට ම අතිශයින් ඉහළ මාත්‍රාවකින් යුත් විටමින් C පෙති ගැනීම බරපතළ වරදකි.
4. මිථ්‍යාව - විටමින් C පෙති අපගේ හදවත ආරක්ෂා කරයි.
සත්‍යය - එය සංකීර්ණය.
විටමින් Cවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණාංග හෘද වාහිනී කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි. ඇතැම් අධ්‍යයනයන් හරහා පැහැදිලි වී ඇත්තේ විශේෂයෙන් පලතුරු සහ එළවළු හරහා විටමින් C වැඩිපුර පරිභෝජනය කිරීමෙන් හෘද වාහිනී රෝග සහ ආඝාත අවදානම අඩු කළ හැකි බවයි.
කෙසේ නමුත්, විටමින් C බහුල ආහාර අනුභව කිරීම සහ විටමින් C පෙති ගැනීම අතර වැදගත් වෙනසක් ඇත.
පර් යේෂණවලින් පෙනී යන්නේ විටමින් C පෙති නිරන්තරයේ ගැනීමෙන් හෘද රෝග හෝ හෘද වාහිනී ගැටලු වැළැක්වෙන බව නොව, එයින් රුධිර පීඩනය වෙත අහිතකර බලපෑමක් ඇති කළ හැකි බවයි. එබැවින්, සැබවින් ම කියතොත් විටමින් C පෙති හැමවිටම ගැනීම භයානකය.
පිළිකා සහ විටමින් C
මෙය පහසුවෙන් අතිශයෝක්තියට නැංවිය හැකි තවත් ක්ෂේත්‍රයකි. පලතුරු සහ එළවළුවලින් පොහොසත් ආහාර විසින් පිළිකා වර්ග කිහිපයකම අවදානම අඩු කරන බව අධ්‍යයනයන්ගෙන් හෙළි වී ඇත. විටමින් Cවල ඇති ප්‍රතිඔක්සිකාරක ගුණ නිසා එය ද පිළිකා මැඬපැවැත්වීමට දායක වන බව කියවේ. එනමුත්, පලතුරු සහ එළවළු තුළ තවත් බොහෝ විටමින්, ඛනිජ ලවණ, තන්තු සහ ශාක සංයෝග අඩංගු වන හෙයින් එහි සම්පූර්ණ ප්‍රතිලාභය විටමින් C වලට ආරෝපණය කළ නොහැකිය. එසේ නම්, පිළිකා වැළැක්වීම සඳහා විටමින් C අතිරේක පමණක් ප්‍රයෝජනයට ගත හැකි බව කිවනොහැකිය. අප ගන්නා ආහාර පිළිබඳ සැලකිලිමත් වීම පසෙක ලා විටමින් C ලබා ගත්තා කියා පිළිකාවෙන් බේරීමට නොහැකි වන බව මෙයින් පැහැදිලි වේ.
විටමින් C ඇස් ආරක්ෂා කිරීමට
උපකාරී වේද?
අක්ෂි සෞඛ්‍යය සඳහා විටමින් C ද වැදගත් වන බව කියවේ. වයස්ගත වීම හා සම්බන්ධ අක්ෂි රෝග පිළිබඳ අධ්‍යයනයෙන් හෙළි වූයේ විටමින් C ඇතුළු පෝෂ්‍ය පදාර්ථ සංයෝජන සාමාන්‍යයෙන් පුද්ගලයන් තුළ වයස්ගත අක්ෂි පරිහානිය මන්දගාමී කිරීමට උපකාරී වන බවයි.
කෙසේ වෙතත්, විටමින් C පමණක් ගැනීමෙන් අක්ෂි පරිහානිය වැළැක්වෙන බව මින් අදහස් නොවේ. ආහාරවල අඩංගු විටමින් C ඇසේ සුද ඇති වීමේ අවදානම අඩු කරන බව පර් යේෂණවලින් පැහැදිලි වේ. එනමුත්, ඉහළ මාත්‍රාවකින් යුත් විටමින් C අතිරේක ඇස් පෙනීම ආරක්ෂා කිරීම සඳහා සහතික කළ ක්‍රමයක් ලෙස නොසැලකිය යුතුය.
විටමින් C ස්වභාවිකව ලබාගනිමු
වාසනාවකට මෙන්, ප්‍රමාණවත් විටමින් C ප්‍රමාණයක් ගැනීම සඳහා සාමාන්‍යයෙන් මිල අධික අතිරේක අවශ්‍ය නොවේ. අප විසින් එදිනෙදා ලබාගන්නා ආහාර හරහා එය පහසුවෙන් කළ හැකි ය.
පලතුරු අතර දොඩම්, මිදි, ලෙමන්, දෙහි, ස්ට්‍රෝබෙරි, අඹ, පැපොල්, අන්නාසි, කොමඩු සහ තක්කාලි යනාදියෙහි විටමින් C බහුල ය. එළවළු ද විටමින් Cහි විශිෂ්ට ප්‍රභවයන් වේ. බ්‍රොකොලි, වට්ටක්කා, ගම්මිරිස්, ගෝවා, නිවිති සහ අනෙකුත් කොළ පැහැති එළවළු සැලකිය යුතු ප්‍රමාණයකින් විටමින් C ලබා ගත හැකිය. අර්තාපල් සහ බතලද විටමින් C වලින් පොහොසත් ය. දවස පුරා වර්ණවත් පලතුරු සහ එළවළු වර්ග අනුභව කිරීම අපගේ විටමින් C අවශ්‍යතා සපුරාලීම සඳහා පහසු ක්‍රමයකි.
එනමුත්, ගැටලුවක් ඇත. ආහාර ගබඩා කිරීමේ දී සහ පිසීමේ දී විටමින් C වලට හානි විය හැකිය.
එළවළු දිගු කාලයක් තැම්බීම හේතුවෙන් සැලකිය යුතු පෝෂක අලාභයක් වේ. මන්දයත්, විටමින් C තාපයට සංවේදී වන අතර පිසින ජලයේ දිය විය හැකි බැවිනි. එළවළු වාෂ්පයෙන් තැම්බීමෙන් හෝ මයික්‍රෝවේව් උදුනේ තැබීමෙන් මෙම අලාභය අවම වේ.
ගබඩා කිරීම පිළිබඳ ද සැලකිලිමත් විය යුතු ය. දිගු කාලයක් තිස්සේ එක තැන තැබීම සහ ආලෝකයට නිරාවරණය වීම හේතුවෙන් විටමින් C අන්තර්ගතය ක්‍රමයෙන් අඩු විය හැකි ය. එබැවින්, හැම විට ම නැවුම් නිෂ්පාදන තෝරාගන්න. අනවශ්‍ය ලෙස දිගු කාලයක් ගබඩා කිරීමෙන් වළකින්න.
විටමින් C වැදගත් පෝෂ්‍ය පදාර්ථයක් වන නමුත්, එය ආශ්චර්යවත් ප්‍රතිකාරයක් ලෙස සැලකීම සුදුසු නැත. විටමින් C කොලැජන් නිපදවීමටත් සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වයටත් සහාය වේ. එය ශාක පදනම් වූ යකඩ අවශෝෂණය වැඩි දියුණු කරමින් වැදගත් ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි. නිරෝගී පටක පවත්වා ගැනීමට සහ ශරීරය පුරා බොහෝ ක්‍රියාවලීන් කිරීමට විටමින් C අත්‍යවශ්‍ය වේ. මේ සියල්ල සත්‍ය වේ.
එනමුත්, විටමින් C ඉහළ මාත්‍රාවක් ගත්තා ය කියා සෙම්ප්‍රතිශ්‍යාව, පිළිකා හෝ හෘද රෝගවලින් ආරක්ෂාවක් නොලැබේ. එපමණක් නොව, එමගින් අධික අතිරේක අතුරු ආබාධ පවා ඇති විය හැකිය. එබැවින්, අපි විසින් කළ යුතු වන්නේ විවිධ වර්ණකයන්ගෙන් යුත් ස්වාභාවික එළවළු හා පලතුරු හරහා සිරුරට අවශ්‍ය ප්‍රමාණයෙන් විටමින් C ගැනීමය.
හැවර්ඩ් හෙල්ත් ප්‍රකාශන ඇසුරිනි

