වසරේ මලල ක්‍රීඩකයා සටනට රුමේෂ් තරංගත්
07 October 2026
වසරේ මලල ක්‍රීඩකයා සටනට රුමේෂ් තරංගත්
07 October 2026
ලෝක මලල ක්‍රීඩා ආයතනය විසින් '2026 වසරේ මලල ක්‍රීඩකයා' සම්මානය සඳහා නිර්දේශිත නාම ඊයේ (6 වැනිදා) නිවේදනය කළ අතර ඒ සඳහා හෙල්ල විසි කිරීම ශූර රුමේෂ් තරංග ද ඇතුළත්ව ඇත.
මෙහිදී 'වසරේ මලල ක්‍රීඩිකාව' සහ 'වසරේ මලල ක්‍රීඩකයා' ලෙසින් කාන්තා සහ පිරිමි යන දෙපාර්ශ්වයම සඳහා සම්මාන ප්‍රදානය කරන අතර ඒ අනුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා විශේෂඥ මණ්ඩලයක් විසින් තෝරාගනු ලැබූ ක්‍රීඩිකාවන් 10 දෙනකු සහ ක්‍රීඩකයන් 10 දෙනකු මෙලෙස සම්මාන සඳහා නිර්දේශිත ලැයිස්තුවට ඇතුළත් කර තිබේ. අදාළ තෝරා ගැනීම් සඳහා 2026 වසර තුළ පැවැති කුලුඳුල් ලෝක අල්ටිමේට් ශූරතාවලිය, ඩයමන්ඩ් ලීග් ආදී තරගාවලි මාලා, ඉහළ මට්ටමේ මාර්ග ධාවන තරග ඇතුළු ඉසව්වලදී දැක්වූ කැපී පෙනෙන දක්ෂතා සලකා බලා ඇත. නිර්දේශිත ක්‍රීඩකයන් අතර සිටින එකම ආසියාතිකයා වන රුමේෂ් මෙම වසරේදී ආසියානු ක්‍රීඩා උළෙල, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, ඩයමන්ඩ් ලීග් අවසන් මහා තරගාවලිය මෙන්ම අල්ටිමේට් ශූරතාවලිය ඇතුළු ජාත්‍යන්තර තරග 13කින් 12කදී ප්‍රථම ස්ථාන දිනාගත් අතර අවස්ථා 3කදී මීටර් 90 සීමාව පසු කිරීමට සමත් විය.
ජයග්‍රාහකයා සහ ජයග්‍රාහිකාව තේරීමට ලෝක මලල ක්‍රීඩා ආයතනය මනාප විමසීමක් සිදු කරන අතර ඒ සඳහා පාර්ශ්ව 4කට මනාප පළ කිරීමේ අවස්ථාව හිමිවේ. ලෝක මලල ක්‍රීඩා රසිකයන්, ක්‍රීඩකයන්, මාධ්‍ය නියෝජිතයන් සහ ලෝක මලල ක්‍රීඩා නියෝජිතයන් මෙම පාර්ශ්ව 4 වන අතර මෙම සියලු පාර්ශ්වයන්ට සමාන හෙවත් 25%ක දායකත්වයක් හිමි වේ. මනාප පළ කිරීමේ අවස්ථාව මෙම මස 17වැනිදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. අනතුරුව වැඩිම මනාප හිමිකරගන්නා ක්‍රීඩකයන් තිදෙනකු සහ ක්‍රීඩිකාවන් තිදෙනකු නොවැම්බර් මස 10 සහ 11 දිනවලදී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත අතර එම පිරිසට නොවැම්බර් මස 29 වැනිදා මොනාකෝ හිදී පැවැත්වීමට සැලසුම්කර තිබෙන සම්මාන ප්‍රදානෝත්සවයට ඇරැයුම් කෙරෙනු ඇත. එහිදී 'වසරේ මලල ක්‍රීඩිකාව' සහ 'වසරේ මලල ක්‍රීඩකයා' ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
ලෝක මලල ක්‍රීඩා නිල වෙබ් ඩවියට පිවිසීමෙන් රුමේෂ් වෙත මනාප පළ කළ හැකි අතර ඒ සඳහා මෙම QR කේතය ස්කෑන් කිරීමෙන් ද පිවිසිය හැක.

