brand logo
logo
 මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පාතහේවාහැට ප්‍රා. සභාවේ කටයුතු අත්හිටුවයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පාතහේවාහැට ප්‍රා. සභාවේ කටයුතු අත්හිටුවයි

20 October 2026

සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට බලය හිමි මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබේ.


ඒ අනුව, මධ්‍යම පළාත් ආණ්ඩුකාර වෛද්‍ය හර්ෂ සුරංග ප්‍රනාන්දු මහතා විසින් ඊයේ (19) සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ අත්හිටුවීම සිදුකර ඇති අතර, ඊට අදාළ ගැසට් නිවේදනය ද නිකුත් කර ඇති බව වාර්තා වේ.


ප්‍රාදේශීය සභාව මඟින් ජනතාවට ඉටුවිය යුතු සේවාවන් නිසි පරිදි ඉටු නොවීම සහ දිට්වා ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන නිසි පරිදි භාවිත නොකිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා සඳහන් කර තිබේ.


ආණ්ඩුකාරවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව, පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සභිකයින් ප්‍රාදේශීය සභා පනත යටතේ වරදක් සිදුකර තිබේද යන්න පිළිබඳව විමර්ශනය කර වාර්තා කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ නිලධාරී නිහාල් සුනිල් රාජපක්ෂ මහතා පත්කර ඇත.


මීට අමතරව, අදාළ ප්‍රාදේශීය සභාවේ බලතල ක්‍රියාත්මක කිරීම සහ කාර්යයන් ඉටුකිරීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා පත්කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

 

More News..