ගුවන් යානයේ නියමුවන් දෙදෙනෙකුගේ ගැටුමකින් යානය අඩි 16,600ක් පහළට ඇවිත්
30 September 2026
ගුවන් යානයේ නියමුවන් දෙදෙනෙකුගේ ගැටුමකින් යානය අඩි 16,600ක් පහළට ඇවිත්
30 September 2026
ඩුබායි සිට ටෙල් අවීව් බලා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි (Flydubai) ගුවන් යානයක්, එහි නියමුවන් දෙදෙනා අතර ඇති වූ අභ්‍යන්තර ආරවුලක් හේතුවෙන් හදිසියේම සෞදි අරාබිය දෙසට හරවා යවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානය තුළ නියමුවන් අතර යම් "ප්‍රචණ්ඩකාරී සිදුවීමක්" සිදුව ඇති බව සඳහන් වන අතර, ගුවන් ගමන් නිරීක්ෂණ දත්තවලට අනුව අඩි 34,000ක උසින් පියාසර කරමින් තිබූ යානය විනාඩි දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත අඩි 17,400කින් වේගයෙන් පහළ බැස අඩි 16,600 දක්වා පැමිණ ඇත.
මෙම තත්ත්වයත් සමග ගුවන් යානයෙන් හදිසි ආපදා සංඥාවක් නිකුත් කර තිබේ. කෙසේ වෙතත්, මෙය ගුවන් යානා පැහැරගැනීමේ සිදුවීමක් නොවන බව තහවුරු කරන ඊශ්‍රායල බලධාරීන්, මෙය යානය තුළ සේවක මණ්ඩලය අතර ඇති වූ අභ්‍යන්තර ගැටලුවක් බව ප්‍රකාශ කර ඇත.
මෙම හදිසි සිදුවීමත් සමග ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා අතර විශේෂ ආරක්ෂක සාකච්ඡාවක්ද පවත්වා ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
එසේම හදිසි සංඥාව ලැබීමත් සමගම ඊශ්‍රායල ආරක්ෂක හමුදාවට අයත් (IDF) ප්‍රහාරක ගුවන් යානා කිහිපයක්ද ගුවන්ගත කළ බව IDF ප්‍රකාශකයෙකු CNN පුවත් සේවයට තහවුරු කර තිබේ.
අදාළ ගුවන් යානය ඉදිරි සුළු වේලාව ඇතුළත සෞදි අරාබියට ගොඩබෑමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

