රස පරීක්ෂක වාර්තා සිරවී 15,000 ක් හිරගෙවල්වල
21 February 2026 | සාලිය කුමාර ගුණසේකර
රස පරීක්ෂක වාර්තා සිරවී 15,000 ක් හිරගෙවල්වල
21 February 2026 | සාලිය කුමාර ගුණසේකර
රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් පුද්ගලයන් 15,000ක් පමණ බන්ධනාගාරවල සිටින බව අනාවරණය වේ. රස පරීක්ෂක වාර්තා ලැබීම ප්‍රමාදවීමේදී ඇප ලබාදීමේදී ගැටලු තත්ත්වයන් මතුවන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා ඇමැති නීතිඥ හර්ෂණ නානායක්කාර පැවසීය.
නව රජය බලයට එද්දී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 121 ක් පැවැති බවද, මේ වසරේදී දෙපාර්තමේන්තුවට 20 දෙනකු බඳවාගත් බවත්, ඉදිරියේදී රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට තවත් 50 ක් බඳවා ගැනීමට කටයුතු කරන බවද ඔහු කීවේය.
යම් සිද්ධියක් වූ දිනයේ සිට මාස තුනක් ඇතුළතදී රස පරීක්ෂක වාර්තාව ගෙන්වා ගැනීම අමාත්‍යාංශයේ බලාපොරොත්තුව බවද ඇමැතිවරයා පැවසීය. අද වනවිට 39,000 ක් බන්ධනාගාර ගතව සිටින බවද ඔහු කියා සිටියේය.
රජය බලයට එද්දී 27,000 ක් බන්ධනාගාර ගතව සිටි බවද, බන්ධනාගාර ඉදිකර ඇත්තේ වික්ටෝරියානු යුගයේදී රැඳවියන් 10,500 ක් රඳවා ගැනීමට හැකි අයුරින් බවද ඔහු පැවසීය.
පෙර කාලයට වඩා නීතිය තදින් ක්‍රියාත්මක කිරීම නිසා මත්ද්‍රව්‍ය ආදියට අදාළව අත්අඩංගුවට ගන්නා පිරිස ඉහළ ගොස් තිබෙන බවත්, අත්අඩංගුවට ගන්නා වේගයෙන් බන්ධනාගාර වල ඉඩ වැඩි කිරීමේ හැකියාවක් නැති බවත් ඔහු පැවසුවේය.
රිමාන්ඩ් කරනවා වෙනුවට නිවාස අඩස්සියේ තබන පනතක් ගෙන ඒමට කටයුතු කරන බවද, ඒ අනුව විද්‍යුත් නිරීක්ෂණ ක්‍රමවේදය යටතේ නිරීක්ෂණය කරන බවද, එසේ වුවහොත් බන්ධනාගාරවල සෙනග අඩු කිරීමට හැකි බවද ඇමැතිවරයා පැවසීය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

