පොලිසියට අලුත් ගැහිල්ලක් උගන්වයි
03 October 2026
පොලිසියට අලුත් ගැහිල්ලක් උගන්වයි
03 October 2026
පොලිසියෙන් සැකකරුවකු අත්අඩංගුවට ගත් විට ඉස්සර කාලේ නම් නිවැසියන් නීතිඥයන් සොයාගෙන ගියේ නැත. මානව හිමිකම් කොමිසමට තකහනියේ ගොස් පැමිණිලි කරන්නට ගියේ නැත. නිවැසියන් මුලින්ම කරන්නේ ගමේ ගොඩේ ඇවිද ගොනිකා කොළ කඩාගෙන ඒමය. ඒ පොලිසියෙන් හොඳහැටි සම්බුව ලැබෙන බව දන්නා නිසාය. බොහෝ විට එවැනි සම්බුවක් ලැබුණේ ගමේ රා, කසිප්පු, ගංජාකාරයන්ටය. නැතිනම් හරක් හොරුන්ටය. නහර ඉදිමුණු තරුණයෝද පොලිස් බැටන් පොල්ලේ රස බැලුවේ වරක් දෙවරක් නොවේ.
ඒ සෑම අවස්ථාවේදීම ඔවුන්ගේ පිහිටට ආවේ ගොනිකා කොළය. ගොනිකා කොළ කැඳ මැල්ලුම දෙන්නේ අතපය තැළුණු විට සුව වීම පිණිසය. ඉස්සර පොලිසියෙන් අල්ලාගෙන යනවා යැයි කියන්නේ ගොනිකා කොළ කන්නම වෙන වැඩකි. බැටන් පොල්ල පමණක් නොව පොල්අඩි ඒ දවස සැකකරුවන් මෙල්ල කරන පොලිසියේ ලොකුම ආයුධය වූවේය. උද්ඝෝෂණ, පෙළපාළිවලදී නම් ආවේ කුළුපොලු හමුදාවය. ඒ අද මෙන් කඳුළු ගෑස් ගහන සිරිතක් එකල තිබුණේ නැති නිසාය.
1953 හර්තාලය කොළඹ ගාලු පාරේ රන්දොඹේ හන්දියෙන් පටන්ගත් මොහොතේ ගමේ කාන්තාවෝ පාර අවහිර කළෝය. ඒ අවස්ථාවේදී පොලිසිය පැමිණ අවවාද කළේ පාරෙන් ඉවත් නොවන්නේ නම් බැටන් චාච් කරන බවය. ඊට උත්තර දුන් බලපිටියේ කතුන් කීවේ ‘ගහපිය බලන්න. අපි ළඟත් තියෙනවා පොල්ලෙලි තළන කිතුල් පොලු’’ යනුවෙනි. ඒ කතා කෙසේ වෙතත් පොලිසියට දැන් පොලුවලින් ගැහැලි ඕනෑ නොවනු ඇත්තේය. ඒ සැකකරුවන් අධ්‍යයන කිරීමට පොලිසියට අලුත් ගැහිල්ලක් උගන්වන නිසාය. මේ අලුත් ගැහිල්ල හෙවත් සටන් ක්‍රමය උගන්වනු ලබන්නේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේය.
කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ 1948 සැප්තැම්බර් මස 28 වැනි දින ආරම්භ වනුයේ පොලිස් නිලධාරින් සඳහා වඩාත් විධිමත් පුහුණුවක් දීමේ අරමුණෙනි. අපරාධ, නීති, අණපනත් ආදී පොලිස් සේවයට අවශ්‍ය විෂය දැනුම මෙන්ම ඉංග්‍රීසි භාෂා හා පරිගණක දැනුමද දෙනවාට අමතරව ආත්මාරක්ෂක සටන් ක්‍රම පිළිබඳ පුහුණුව පොලිස් නිලධාරින්ට දෙන්නේ මේ බිමේදීය. ඒ කලහකාරීව හැසිරෙන පුද්ගලයන් තම ග්‍රහණයට ගැනීම සඳහාය. කරාටේ, ජූඩෝ හා බොක්සිං වැනි ආත්මාරක්ෂක සටන් ක්‍රම ක්‍රමයෙන් පොලිස් නිලධාරින්ගේ පුහුණුවට ඇතුළත් විය. පසුගිය කාලයේ ඒ සඳහා කොරියානු පුහුණුකරුවන්ගේ සහායද ගන්නා ලදී. මෑත කාලයේදී පොලිස් නිලධාරින්ගේ පුහුණුවට එක්කර තිබුණේ ‘ටයිකොන්ඩෝ’ ආත්මාරක්ෂක සටන් ක්‍රමයය.
එම සටන් ක්‍රමවලට අමතරව පොලිස් නිලධාරින් වෙනුවෙන් තවත් විශේෂිත වූ සටන් ක්‍රමයක් කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේදී සැප්තැම්බර් 16 වැනිදා හඳුන්වා දෙන ලදී. ඒ නියෝජ්‍ය පොලිස්පති (බඳවා ගැනීම් හා පුහුණු) ජගත් සේරම් ප්‍රධානත්වයෙනි. මෙම සටන් කලාව ‘ක්‍රව් මගා’ නම් විය.
මෙවැනි ආත්මාරක්ෂක සටන් ශෛලියක් ශ්‍රී ලංකා පොලිසිය වෙත හඳුන්වාදීමේ අරමුණු රාශියක් තිබෙනවා. ඉන් ප්‍රධානතම අරමුණ වනුයේ පොලිස් රාජකාරි තුළදී සාමය කඩකරමින් සාහසිකව හැසිරෙන පුද්ගලයන් මෙහි ඇති ක්‍රමෝපායික භාවිත කරමින් ශාරීරික හානියක් නොවන අයුරින් අත්අඩංගුවට ගත හැකි වීමයි.
මෙම සටන් කලාවේ තවත් වටිනාකමක් වන්නේ සටන් කලාවන්හි භාවිතයට ගන්නා වූ විවිධ මෙවලම් භාවිත කිරීමකින් තොරව දෑත් පමණක් භාවිත කරමින් ඕනෑම අවස්ථාවකදී ක්‍රියාත්මක වීමට හැකි වීමයි.
එසේම මෙම සටන් කලාව පොලිස් විද්‍යාලයේ උපදේශකවරුන් හරහා පුහුණුව ලබන ආධුනික නිලධාරින්ට මෙන්ම විවිධ උසස් පුහුණු පාඨමාලා හදාරණ නිලධාරින්ටද දිය හැකි වෙනවා. මෙවැනි සටන් ශෛලීන් හැදෑරීම තුළින් නිලධාරිගේ කායික ශක්තිය මෙන්ම චිත්ත ධෛර්යයද වර්ධනය වෙනවා. ඔවුන්ගේ නිරෝගීභාවයට ද පිටිවහලක් වෙනවා.’
’
එසේ කියන්නේ නියෝජ්‍ය පොලිස්පති ජගත් සේරම්ය. මෙම සටන් ක්‍රමයේ නිර්මාතෘවරයා වන්නේ ස්ලෝවේනියාවේ ජීවත්ව සිටි ඉම් ලිච්ටෙන්ෆෙල්ඩි (1910-1998) නම් වූ යුදෙව් ජාතිකයායි. තිස් වන සියවසේ දී පමණ නාසිවරුන් යුදෙව් ජාතිකයන්ට ප්‍රහාර එල්ල කරද්දී බොක්සින් හා රෙස්ලින් ඉගෙනගෙන සිටි මොහු මෙම සටන් කලාව පාරේ අත්හදා බැලීය. අසල්වැසි යුදෙව්වන් ඔහුව ආරක්ෂා කර තිබිණි.
මෙම ප්‍රහාරය මැද ඔහු 1940 වසරේදී නාසිවරුන්ගෙන් බේරී එදා පලස්තීනය ලෙස හැඳින්වූ වත්මන් ඊශ්‍රායලයට පැන ගියේය. ඊශ්‍රායල් හමුදාවේ ප්‍රධාන සටන් උපදේශකවරයා ලෙස කටයුතු කිරීමට ඔහුට ආරාධනා ලැබිණ. යුදෙව්වන්ගේ භාෂාව වන හීබෲ භාෂාවේ එන ‘ක්‍රව්’ යන්නට සිංහල අරුත සටනය. ‘මගා’ යන්නෙහි අරුත සමීප බවය. ඒ අනුව මෙහි සිංහල අරුත ‘සමීප සටන’ වේ. යතුර, බෑගය, පුටුව ආදී ආයුධයක් කරගෙන තර්ජනය ඉක්මනින් වළක්වා ගැනීම මෙම සටන් ක්‍රමයේ අරමුණයි.
මුලින් ඊශ්‍රායල හමුදාවට පමණක් සීමා වූ මෙම සටන් කලාව පසුව ඔහු සාමාන්‍ය පුද්ගලයන්ටද පුහුණු කරන්නට පටන් ගත්තේය. එය ලොව පුරා ප්‍රචලිත වූයේ ඉන්පසුවය.
‘ක්‍රව් මගා’ සටන් කලාව මෙරටට හඳුන්වා දෙන්නේ ප්‍රවීණ සටන් උපදේශක තිරමුනිගේ සතිස් ප්‍රියන්තය. හෝමාගම ප්‍රදේශයේ ජන්මලාභියකු වූ ඔහු කරාටේ කළුපටි 6 වන ශ්‍රේණිධාරියෙකි. නිල අල්ලා සටන් කිරීම පිළිබඳ විශේෂඥයෙකි. පසුව ඉතාලියට ගිය ඔහු එහි වසර 40 ක් පමණ ජීවත් විය. ක්‍රව් මගා නම් වූ ඊශ්‍රායල් සටන් කලාව ඔහු හැදෑරුවේ එහිදීය. ඔහු ‘ක්‍රව් මගා’ සටන් කලාවේ කළුපටි 6 වන ශ්‍රේණිය දක්වාම ගියේය. ඉතාලියේ හා එක්සත් රාජධානියේ පොලිසි සහ විශේෂ හමුදා ඛණ්ඩවල සටන් උපදේශකවරයකු ලෙස ඔහු සේවය කළේය. ‘ක්‍රව් මගා’ සටන් කලාව කිසිදු අය කිරීමකින් තොරව උපන් රටටත් දීම සුදුසුයි කියා සිතූ ඔහු එය ලංකාවට ගෙන ආවේය.
ඒ අනුව වර්ෂ 2008-2012 අතර කාලය තුළ ඔහු මෙම සටන් කලා පුහුණුව ජනාධිපති ආරක්ෂක අංශයට, අගමැති ආරක්ෂක අංශයට, ඇමැති ආරක්ෂක අංශයට, පොලිස් විශේෂ කාර්ය බළකායට මෙන්ම මෙරට හමුදාවල විශේෂ ඒකකවලටද දුන්නේය. ජනාධිපති ආරක්ෂක අංශයේ ජනපතිවරයාගේ සමීප ආරක්ෂකයන් ලෙස රාජකාරි කරන්නේ ප්‍රභූ ආරක්ෂාවේ ෙකළ පැමිණි සෙබළුය. ඒත් ජනාධිපතිවරුන්ගේ මනාපය අනුව යුද හමුදා කමාන්ඩෝ සෙබළු සේම විශේෂ කාර්ය බළකා සෙබළු ඒ සඳහා යොදවති. උදාහරණයක් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන ජනපතිවරුන්ගේ සමීප ආරක්ෂාවට සිටියේ කමාන්ඩෝ සෙබළුය. ඔවුහු ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම, ප්‍රතිප්‍රහාර ගැනීම් ආදී දුෂ්කර පුහුණුවක් ලැබුවෝ වෙති. මෛත්‍රිපාල සිරිසේන හා අනුර කුමාර දිසානායක ජනපතිවරු සිය ආරක්ෂකයන් ලෙස යොදා ගැනීමට මනාප වූයේ විශේෂ කාර්ය බළකායය. විශේෂ කාර්ය බළකායේ නිර්මාතෘවරයාද වූයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ පුතා වූ රවි ජයවර්ධනය. සිය පියාට ජනතා විමුක්ති පෙරමුණෙන් හා එල්ටීටීඊයෙන් එල්ල වූ තර්ජන හේතුවෙන් ඔහුගේ ජීවිතාරක්ෂාව පිණිස විශේෂ කාර්ය බළකාය යෙදවීමට රවි, පියවර ගත්තේය.
දැන් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක අංශයද ඇතුළු හමුදා සෙබළුන්ට ‘ක්‍රව් මගා’ පුහුණුව දෙන්නේය. ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියා වූ පසුවය. මෙවර පොලිස් නිලධාරින්ට ‘ක්‍රව් මගා’ පුහුණුව ආරම්භ කරන ලද්දේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර පොලිස් දෙපාර්තමේන්තුවේ (පුහුණු හා උසස් පුහුණු) භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලැබීමෙන් පසුවය.
කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයට අනුබද්ධව තවත් ශාඛා පාසල් අටකි. ඒවා පිහිටා ඇත්තේ ඇල්පිටිය, බොරලන්ද, මහියංගණය, කල්ලඩි, කුන්ඩසාලේ, අරලගංවිල, නිකවැරටිය හා තමුත්තේගම, පහළගමය. දින හතරක් මුළුල්ලේ පැවැති ‘ක්‍රව් මගා’ සටන් කලාවේ මූලික පුහුණුව සඳහා සියලු පොලිස් විද්‍යාලවල සටන් පුහුණු උපදේශකවරු 33 දෙනකු සහභාගි වූහ. ප්‍රවීණ සටන් උපදේශක නිරමුණිගේ සතිස් ප්‍රියන්තගේ මෙහෙයවීම යටතේ පුහුණු කිරීම් කරන ලදී. සහාය උපදේශකවරුන් වශයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු එක්ව සිටියහ.
ක්‍රව් මගා සටන් ක්‍රමයේ මූලික අරමුණ අවි ආයුධවලින් තොරව සතුරා මෙල්ල කිරීමය. සතුරා අවිආයුධ අතැතිව සිටියද අත්පා මගින් බලය යොදා සතුරා ග්‍රහණය කර ගැනීම මේ පුහුණුවේදී ඉගැන්වේ. එසේ බලන විට ඉදිරියට පොලිස් නිලධාරින්ට ඉස්සර මෙන් බැටන් පොලු ඉණේ එල්ලාගෙන යාමට ඕනෑ කරන්නේ නැත.
ක්‍රව් මගා’ සටන් පුහුණුව ලද පොලිස් නිලධාරින් විසිරයෑමේ උළෙල නියෝජ්‍ය පොලිස්පති (බඳවා ගැනීම් හා පුහුණු) ජගත් සේරම්ගේ ප්‍රදානත්වයෙන් කළුතර පොලිස් අභ්‍යාස විදුහලේදී පැවැත් විණි. ඊට කළුතර ශ්‍රී ලංකා පොලිස් විද්‍යාලයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දුෂාන්ත රුවන් තලගල ඇතුළු පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, අංශභාර ස්ථානාධිපතිවරුන්, ආධුනික උප පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයද එක්ව සිටියහ.
මේ වන විට මෙරට සියලු පොලිස් විද්‍යාලවල ආධුනික පොලිස් නිලධාරින 1500 ක් පුහුණුව ලබමින් සිටින අතර ඔවුනට මෙම ආත්මාරක්ෂක සටන් ක්‍රමය පළමුව දීමට නියමිතය. පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ මගපෙන්වීම යටතේ දැනට රාජකාරියේ නියුතුව සිටින පොලිස් නිලධාරින්ට වරින්වර සේවාස්ථ පුහුණු පවත්වා මෙම සටන් කලාව පිළිබඳ පුහුණුව දීමට සැලසුම් කර තිබේ.
කලහකාරීව හැසිරෙන පිරිස් ආයුධ භාවිතයෙන් තොරව පොලිස් භාරයට ගැනීමේ වඩාත් ගුණාත්මක ක්‍රමවේදයක් මෙම සටන් කලාව හරහා ක්‍රියාත්මක කිරීම පොලිසියේ බලාපොරොත්තුවයි.
සුනිල් එස්. තන්ත්‍රිආරච්චි

