Best News Website award
brand logo
logo
අලි-මිනිස් ගැටුම අවම කිරීමට 'AI' තාක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්

අලි-මිනිස් ගැටුම අවම කිරීමට 'AI' තාක්ෂණික පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක්

14 November 2026


අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා 'AI' තාක්ෂණය යොදාගනිමින් පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියක් මෙරට තුළ ස්ථාපිත කිරීමේ හැකියාව පිළිබඳ මූලික සාකච්ඡාවක් සහ ක්ෂේත්‍ර නිරීක්ෂණයක් ඊයේ (13) ගල්ගමුව ප්‍රදේශයේදී පැවැත්විණි.


පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, මෙරට චීන තානාපති මෙන්ම Huawei සමාගමේ නියෝජිතයින් මෙම අවස්ථාවට එක්වූහ.


චීනයේ අලි-මිනිස් ගැටුම පැවති ප්‍රදේශවල මෙවැනි පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සාර්ථකව ක්‍රියාත්මක කර ඇති බව චීන තානාපතිවරයා සහ Huawei සමාගමේ නියෝජිතයින් මෙහිදී පෙන්වා දී ඇත.


මෙම තාක්ෂණය මඟින් වනඅලින්ගේ ශරීර ප්‍රමාණය සහ චලන රටා හඳුනාගැනීමට හැකි කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ කැමරා පද්ධති යොදා ගනිමින්, වනඅලි ගම්මානවලට ඇතුළුවීමට පෙර ඒ පිළිබඳව හඳුනාගෙන අනතුරු ඇඟවීමේ සංඥා සහ පණිවුඩ මඟින් ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට හැකියාව ලැබේ.


ශ්‍රී ලංකාවේ භූ විෂමතාව, වනඅලින්ගේ සංචරණ රටා, ගම්මානවලට ඇතුළු වන මාර්ග සහ කැමරා පද්ධති ස්ථාපිත කිරීමට සුදුසු ස්ථාන මෙහිදී විශේෂ අවධානයකට යොමුකර ඇත.


චීනයේ සාර්ථක අත්දැකීම් සහ නවීන තාක්ෂණික විසඳුම් ශ්‍රී ලංකාවේ පාරිසරික හා භූගෝලීය තත්ත්වයන්ට ගැළපෙන පරිදි යොදාගැනීමේ ප්‍රායෝගික හැකියාව සොයාබැලීම මෙම ක්ෂේත්‍ර නිරීක්ෂණයේ අරමුණ වී තිබේ

 

More News..