brand logo
logo
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් පහළට

08 November 2026


අමෙරිකා - ඉරාන යුද ගැටුම් සමනය වනු ඇති බවට ලෝක වෙළෙඳපොළ තුළ පවතින අපේක්ෂා හේතුවෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබේ.


ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල පසුගිය සතිය තුළ සියයට 16කින් පමණ පහළ ගොස් ඇති අතර, එය 2020 වසරෙන් පසු සතියක් තුළ වාර්තා වූ විශාලතම මිල පහත වැටීම බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම, බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් මිල ද සතියක් තුළ සියයට 12කින් පමණ පහත වැටී තිබේ.


ඒ අනුව, අද පෙරවරුව වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 98ක් ලෙස සටහන් වූ අතර, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 90කට ආසන්න අගයක පැවති බව සඳහන් වේ.

විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ බොරතෙල් මිල මෙලෙස පහත වැටීමට ප්‍රධාන කරුණු දෙකක් බලපා ඇති බවය.


ඒ අනුව, අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂය පරාජයට පත්වීමත් සමඟ ඉරානය සමඟ පවතින යුද ගැටුම් අවසන් වනු ඇති බවට වෙළෙඳපොළ තුළ ඇතිවී තිබෙන අපේක්ෂාව එක් කරුණකි.


එමෙන්ම, මැදපෙරදිග කලාපයේ සිට ලෝක වෙළෙඳපොළට ලැබෙන බොරතෙල් සැපයුම යම් ප්‍රමාණයකින් ඉහළ යාම ද මිල පහත වැටීමට බලපා ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

 

More News..