brand logo
logo
ඇහැටුවැව තමයි ඉස්කෝලේ

ඇහැටුවැව තමයි ඉස්කෝලේ

05 September 2026 | අනුපමා ගල්කඩවල

පහේ ශිෂ්‍යත්වේ ප්‍රතිඵල ගිය සතියේ නිකුත් වූ මොහොතේ ​වෙනදා මෙන් ජනප්‍රිය පාසල්වල නම් ඇසුණේ නැත. ඇසුණේ ඇහැටුවැව ප්‍රාථමික විදුහල ගැනය. ඒ, ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 193ක් ලබා ලංකාවෙන් පළමුවැනියා වූයේ එම පාසලේ දනෝජ් තීක්ෂණ නිසාය. මේ ලිපිය ලියන අපේ කර්තෘ මණ්ඩලයේ ලියුම්කාරිය ඇහැටුවැව ප්‍රාථමික විදුහලේ ආදි සිසුවියකි. දැවැන්ත මාරා ගස, අවාරේත් පල බර අඹ, මසං, දෙළුම්, පලතුරු ගස්, නිරන්තර රතු ඕලු මලින් පිරුණු පොකුණ. ඉගෙනීමේ වෙහෙස නිවා ගැනීමට දරුවන්ට වෙන්වුණු සෙල්ලම් මිදුල, බුදු මැදුර, සේම පාසල් දරුවන්ගේ ගිම් නිවූ තොටිල්ල බඳු වූ විශාල මාරා ගසේ සෙවණ යට අකුරු කළ ඇහැටුවැව ප්‍රාථමිකය ගැන ඇගේ අත්දැකීම් සමග ලියැවෙන ඉතිහාස කතාවය.

‘ඇහැටුවැව’ කියූ විට බොහෝ දෙනාට ඒ ගම මතක් වෙන්නේ "අලියෙක් ගහලා මිනිහෙක් මැරුණු", පුවත් නිසාය.


පත්තර, රූපවාහිනී, ගුවන්විදුලි, සමාජ මාධ්‍ය, අන්තර්ජාතික මාධ්‍ය ආදී ඔය කොයිකේත් ඇහැටුවැව නම පිරික්සද්දී වැඩිමනත් කතා ප්‍රවෘත්ති පළවන්නේම ‘වල් අලි කරදර’ ගැනය. ඒ, ලංකාවේ වැඩියෙන්ම අලි-මිනිස් ගැටුම වාර්තා වන්නේ ඇහැටුවැව අයිති ගල්ගමුවේ නිසාය.


එහෙත් පසුගිය දා අවුරුදු නමයේ ඇතෙක් වගේ පුතෙක් නිසා ගල්ගමුව ඇහැටුවැව නාමය එක රැයින් මුළු ලංකාවේ ගිය සතියේ ප්‍රධාන සිරස්තලය බවට පත් වුණේය.


ඒ 2026 වසරේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල පිටවූ දිනයේ සිටය.


ගල්ගමුව - ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විදුහලෙන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි දනෝජ් තීක්ෂණ වීරසේකර මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 193ක් ගෙන දිවයිනේ පළමුවැනියා වී සිටියේය.

‘අලියෙක් ගහලා මිනිහෙක් මැරුණු’ සුපුරුදු කතා වෙනුවට විභාග ප්‍රතිඵලයේ කප් ගසා රටේ ප්‍රසිද්ධ වූවාට ඇහැටුවැව කොළඹින් දුර ඈත කුරුණෑගල දිසා මායිමේය.


කොළඹ සිට පැමිණෙන්නෙකුට ඇහැටුවැවට පැමිණීමට කිලෝමීටර් 164 දුරක් ඇත්තේය.

කොළඹ අනුරාධපුර 57 බස් පාරේ ගල්ගමුව නගරයට පැමිණ එතැන්සිට නැවත ගල්ගමුව-මොරගොල්ලාගම මාර්ගයේ කිලෝමීටර් 13ක් පමණ දුරක් ගෙවා පැමිණිවිට ඇහැටුවැව නගරය හමුවෙයි. ඇහැටුවැව ප්‍රාථමික පාසල පිහිටා ඇත්තේ ඇහැටුවැව නගර මධ්‍යයේයි.


පාසලට පීඩාවක් කරදරයක් නොකළේ වුවත් ඇහැටුවැව නගරයට කඩා වැදෙන වල් අලි වැඩි මිස අඩු නොවෙති. ඇතැම් දිනක වල් අලි ප්‍රධාන මාර්ගයෙන්ම පැමිණ ඇහැටුවැව නගරයට වැදෙති.

දනෝජ් තීක්ෂණගේ ගම වන මහමේරුව පිහිටියේ ඇහැටුවැව නගරයේ සිට ඇහැටුවැව අඹන්පොළ මාර්ගය ඔස්සේ තවත් කිලෝමීටර් හත අටක් ඇතුළට ගියවිටය.


මහමේරුව පැත්ත කී විට ‘අලි වකාරේ’ ය. අංක 128 හුණුගල්ලෑව ග්‍රාමසේවක වසමට අයත් මහමේරුව ගම්මානයේ මිනිස්සුන්ට මහ පොළොවට පොරබැදීමේ අරගලයට වඩා අමාරුකම් ඇත්තේ වල් අලි කරදරේ බව කීවේ වසමේ ග්‍රාමසේවක බන්දුල නවරත්නය.


දැන් වල් අලියාට මහ පාන්දරද, දාවලේද, හැන්දෑකොරේද කියා නිසි අයුරුවක් නැත්තේය. නියං පෑවිල්ල නිසා බඩසාගින්න ඉවසන්නට බැරි උන් සිහිවිකල් වූවන් සේ වගාවට පැන කාබාසිනියා කරති. අප පාසල් ගිය කාලේ, මෙසේ අලි ගම් වැදුණේ නැත.


මේ අලි කරදර මැදින් දනෝජ් පුතා නිරුපද්‍රිතව පාසල් යැවීමේ අභියෝගය දනෝජ්ට වඩා දැණුනේ ඔහුගේ අප්පච්චිටය.


දනෝජ්ට වයස අවුරුදු හතරේදී පමණ, මව් එලොව ගියාය.

එතැන් පටන් පුතු කැටියාගේ මව් සෙනෙහසද, වගකීමද පියා භාරයේය.

වල් අලි කරදරේ නිසා සෑමදාම කුඩා දනෝජ් පාසලට පැමිණීම ප්‍රමාදය. උදෑසන පාසල් ආරම්භවීමේ සීනුව සෑමදාම දනෝජ්ට ඔච්ච්ම් කළේය. එහෙත් දනෝජ්ගේ උත්සාහය, කැපවීම දන්නා විදුහල්පති වසන්ත දසනායක, පන්ති භාර ගුරුතුමිය ආශා කුමුදුනී දනෝජ් පිළිගැනීමට සැදී පැහැදී සිටියෝය.

එය කුඩා දනෝජ්ට මහා යෝධ සෙවණක් සවියක් වූයේය. ඉස්කෝලේ ඇරුණු පසු දනෝජ්ට නගරේ දරුවන්ට මෙන් අමතර ශිෂ්‍යත්ව පන්ති තිබුණේ නැත. ඔන්ලයින් ක්ලාස්ද නැත. ඒ වෙනුවට හැන්දෑ වරුවේ තිබුණේ හේනට එන මොනරු එළවන්නටය. රැය නිදි වරා පාඩම් නැත. ඒ, තාත්තා සමග හේනට යන්නට වෙන නිසාය. කොහොමත් ඇහැටුවැව ගම්මුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කුඹුරු හා හේන් ගොවිතැන්ය.

මේ විදුහලේ ආරම්භය එකදහස් අටසිය ගණන් දක්වා දිවෙන්නේය.


ඇහැටුවැව ප්‍රාථමික පාසල නමින් ආරම්භ වී ඇත්තේ යටත් විජිත සමයේය.

එසමයේ පිරිවෙන් අධ්‍යාපනයෙන් පසු ලංකාවේ රජයේ පාසල් ආරම්භ වීමේදී බිහිවූ පාසලකි.

එවක මේ ප්‍රදේශයේ මේ පාසල හැරෙන්නට වෙනත් පාසලක් තිබූ බවට හෝඩුවාවක් නැත.

මනස්කාන්ත ඇහැටුවැව ගමත් ඇහැටුවැව ප්‍රාථමික පාසලත් දෙකක් නොව එකක් ය.

ගමට අරුණ වැටෙන්නේ ගල්ගිරියා මහ කන්ද මැදින්‍් ය. උදැහැනැක්කේ හිස් සෝදා නා පිරිපහදු වන්නට මහ කන්දෙන් ඉර එළිය බහින්නේ ඇහැටුවැවේ මහ වැවටය. ඉන් ඉක්බිති පේවී වෑකණ්ඩියෙන් බැස කුඹුර මැද්දෑවේ ඇති ඇහැටුවෑ දේවාලය වැඳගන්නේය.

දෙයියන්නාන්සේගේ අවසරෙන් ගම්මැද්දෑවටත් ඇහැටුවැව ප්‍රාථමික පාසල් භූමියටත් අරුණ වැටෙන්නේ එතකොටය.

එවිටම ඇහැටුවැවේ දේවාලේ උඩැක්කි ගෙජ්ජි කෝල්මුර ගායනා සද්ද පූජා පටන් ගන්නේය.

ඉස්කෝලේ දොරකඩ මුර දේවතා තනතුර භාර මහ මාරා ගහ නිදිගැට හරින්නේ එවිටය. ඒ කලබලයට මාරා ගස් බෙන අස්සේ ඉන්නා කුරුලු කොබෙයියෝද නාද කරන්නට ගන්නේය.

එවක ප්‍රාථමික පාසල ගැහැනු ඉස්කෝලේ, පිරිමි ඉස්කෝලේ ලෙස වැටකින් බෙදුණේය.

පිරිමි ඉස්කෝලේ විදුහල්පති "ලොකු මහත්තයාය", ගැහැනු ඉස්කෝලේ විදුහල්පතිට කීවේ "දෙවෙනි මහත්තයා" කියාය.


එහෙන් මෙහෙන් එබිකම් කරනවා ඇරෙන්ට, පිරිමි ඉස්කෝලේ ඈයින්ට ගෑනු ඉස්කෝලේ වැට ට එබෙන්න, වැට පැනීම තහංචිය.

විශ්‍රාමික ගුරුවරයෙක් වන පුංචි බණ්ඩා ඉස්කෝලේ මහත්තයාගේ අප්පච්චී අයි.එම්. පිංහාමී එකදාස් නමසිය විසි ගණන්වල මේ පිරිමි ඉස්කෝලේ ඉගෙනගන්නා සමයේ ලොකු මහත්තයා වී සිටියේ පලීපාන මහත්තයා බවත්, ගුරුවරියක් වූ ඔහුගේ බිරිඳ " දෙවෙනි මහත්තයා" ලෙස ගැහැනු ඉස්කෝලේ වැඩ බැලූ බවත් තමන්ට කියා ඇති බැව් පුංචි බණ්ඩා ගුරුතැන මතක් කළේය.

චිරාත් කාලයක් ඇහැටුවැව ප්‍රාථමික පාසලේ ජය සංකේතය වූ මාරා ගස රෝපණ කර ඇත්තේද මේසමයේදීය.


එවක මේ පාසලේ සේවයට පැමිණ ඇත්තේ නුවර, ගම්පහ, මීරිගම වැනි පැතිවල ගුරුභවතුන්‍් ය. ඔවුන්ගේ නේවාසික පහසුකම් වෙනුවෙන් අමුතුවෙන් ගුරු නිවාස තිබී නැත.

පාසල් ගොඩනැගිල්ලේම කොටසක කාමර දෙක තුනක් වෙන් වී තිබී ඇත.

ගුරු පත්වීම් ලැබ දුර බැහැරින් එන ගුරු යුවළක් වූවොත් ඔවුන්ට නවාතැන් පහසුකම් සැලසූවේ ප්‍රාථමිකේ ඉදිරියේම තිබූ සැන්ටි බෝර්ඩ් මහත්තයලාගේ නිවසය.

ඒ.එච්. පියසේන, ගුරු යුවළ කාලාන්තරයක්ම ඒ ඇහැටුවැවේ සැන්ටි බෝර්ඩ් මහත්තයලාගේ නිවසේ පදිංචි වී සිටියහ. ඒ.එච්. පියසේන කියන්නේ අප කොයි කවුරුත් පැටි වියේ පාසල් යන කාලේ සිංහල පොතේ කියැවූ ‘මීටර් 100’ ලියූ ලේඛකයා ය. ඇහැටුවැව ඉස්කෝලෙන් පටන් ගත් ඔහුගේ ඉගැන්විල්ල නිම වූයේ කොළඹ රාජකීයයෙනි. පියසේන යුවළගේ කුලුඳුල් දරුවා සමන් අතාවුදහෙට්ටි උපන්නේත් ඇහැටුවැවේ දෙයියන්නේ ඇල්ම බැල්ම කරුණා මහිමයෙන්ය. මේ සමන් වෙන කිසිවකු නොව, රනිල් වික්‍රමසිංහගේ මාධ්‍ය ලේකම්ව සිටි, ප්‍රකට නිවේදන සමන් අතාවුදහෙට්ටිය.

ඒ අතීත විදුහල්පතිවරු, ගුරුභවතුන් අතර පලීපාන, පණ්ඩිතසේකර, ඒ.එච්. පියසේන, පී.පී.ඒ. උදුගොඩ, බෝගහලන්ද, බැසිල් පෙරේරා, ආරියදාස, ෆොන්සේකා, කමනී දිසානායක වැනි අය සිටියහ.

එවක ඇහැටුවැව ප්‍රාථමික විදුහලේ හත ශ්‍රේණිය දක්වාම පන්ති පැවැත්වී ඇත.

පහේ ශිෂ්‍යත්වය, හතේ ශිෂ්‍යත්වය කියා ශිෂ්‍යත්ව විභාග දෙකක්ද තිබී ඇත.

වර්ෂ 1956 කාලය ගම් දරුවන්ගේ ඉගෙනීමට දැඩි උනන්දුව කැපී පෙනුණු කාලයකි.

රජයේ අවධානයද මේ කෙරෙහි යොමුවීමේ ප්‍රතිඵලයක් ලෙස 1960 ගණන්වලදී උසස් අධ්‍යාපනය වෙනුවෙන් මහ විද්‍යාලයක් ආරම්භ වුණි. ඒ ප්‍රාථමිකයට තරමක් දුරින්, ඇහැටුවැව නගරයේ කෙළවරය.

එහි සාමාන්‍ය පෙළ, උසස් පෙළ දක්වා විෂයන් ඉගැන්වීම ආරම්භ කෙරුණි. එකල ගම් දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද ඉගැන්වීම් කිරීම සුවිශේෂය.

මෙනිසාම ඉතා දුර බැහැර පෙදෙස්වලින් පවා ගම් දරුවෝ පැමිණ ඇහැටුවැව ගමේ නතර වී අකුරු කිරීමට ඇහැටුවැව විදුහලට ගියෝය.

එකී අධ්‍යාපනයේ වරප්‍රසාද ලබා රටේ තොටේ ඉහළට ගිය අය අතර, මහ බැංකු අධිපතිවරයෙක් වූ හීන් බණ්ඩා දිසානායක, විද්‍යාඥ අයි.එම්. ධර්මදාස, ක්‍රීඩා අමාත්‍ය ලෙස කැබිනට් අමාත්‍ය තනතුරක් හෙබවූ බන්දුල බස්නායක වැනි අය සිටියෝය. ශ්‍රී ලංකා මහ බැංකුවේ නවවැනි අධිපති වූ හීන් බණ්ඩා දිසානායක 1992 සිට 1995 දක්වා එම ධුරය දැරුවේය.

1970 වනතුරුම ඇහැටුවැව ප්‍රාථමිකයත්, මහා විද්‍යාලයත් ඒකාබද්ධව තිබිණි. එවක පාසල් ද්විත්වයේම කටයුතු වෙනුවෙන් එල්.බී. දිසානායක, උල්පතේ සිරිල් වන්නිනායක ආදී විදුහල්පතිවරු මහාර්ඝ වෙහෙසක් කැපවීමක් දෑරූ අය වූහ.

1970 ගණන්වලින් පසුව විදුහල්පතිවරු දෙදෙනෙක් යටතේ විදුහල් දෙකක් ලෙස වෙනම ක්‍රියාත්මක විණි.

ඒ අනුව 1970 දී පාසල් දෙක වෙන් වූ පසු ඇහැටුවැව ප්‍රාථමිකයේ පළමු විදුහල්පති වූයේ ආර්.එම්. මුදියන්සේය.

මේ අතීත තොරතුරු නිශ්චය කිරීමේදී ගල්කඩවල ශ්‍රී සංඝබෝධි විහාරාධිකාරී හුංඟම්පොළ පියරතන හිමි සුරක්ෂිතව තබාගත් 1961 වර්ෂයේ ඇහැටුවැව විද්‍යාලයේ ගුරු භවතුන්ගේ සමූහ ජායාරූපය මහත් පිටිබලයක් වූයේය.

චිර ප්‍රසිද්ධ සාහිත්‍යධරයකු වන සයිමන් නවගත්තේගම ශිෂ්‍ය ගුරුවරයෙක් ලෙස පළමු පත්වීම ලබා ඇහැටුවැව මහ විදුහලට එන්නේද මේ කාලවකවානුවේය.

මේ කාලයේදී විදුහලේ ජ්‍යෙෂ්ඨ පන්තියේ සිසුන් දස දෙනෙක් ශිෂ්‍ය ගුරු පත්වීම් ලැබීමට තේරී පත්වූහ.

එය ඇහැටුවැව විදුහලේ නම ඉතිහාසය ගිය පළමු ජයග්‍රහණය වූයේය.

ඩී.එම්. පොඩිමැණිකේ, ඩබ්.ඇම්. මුතුමැණිකා, එල්. ජේ.එම්. පුංචිබණ්ඩා, යූ.ටී.බී. දිසානායක, ඖෂධ හාමි රාජපක්ෂ, ආර්.එම්. හේරත් බණ්ඩා, එච්.එම්. ගුණරත්න, එච්.එම්. සෙනෙවිරත්න, ආර්.එම්. කුමාරිහාමි, ටී.බී. හේරත් බණ්ඩා යන දස දෙනා එසේ ශිෂ්‍ය ගුරු පත්වීම් ලැබූ අය වූහ.

මොවුන් අතරින් යූ.ටී.බී. දිසානායක සහ ඖෂධ හාමි රාජපක්ෂ ගුරුභවතුන් පසුකලෙක ඔවුන් උසස් අධ්‍යාපනය හැදෑරූ ඇහැටුවැව මහ විදුහලේම විදුහල්පතිවරුන් ලෙස පත්වීම් ලැබූහ. ඩී.එම්. පොඩිමැණිකේ, ඩබ්.ඇම්. මුතුමැණිකා ඇහැටුවැව ප්‍රාථමික විදුහලේ විදුහල්පති තනතුරු දක්වා පැමිණියෝය.

ඩබ්.ඇම්. මුතුමැණිකා විදුහල්පතිනියගේ කාලය ඇහැටුවැව ආදර්ශ ප්‍රාථමික විදුහලේ ස්වර්ණමය යුගයකි. පහ වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් දරුවන් සූදානම් කිරීමේ උනන්දුව පාසලට ගෙනාවේ ඇයගේ යුගයේය.

1995- 2004 කාලයේ ඇහැටුවැව ප්‍රාථමිකයේ විදුහල්පතිනිය වූ ඩී.එම්. පොඩිමැණිකේ ඇහැටුවැව ප්‍රාථමිකයෙන් සහ ඇහැටුවැව මහ විදුහලෙන් සිප් සතර හදාරා විදුහල්පති තනතුර දක්වා පැමිණි ඇහැටුවැව විද්‍යාලයේම මහාර්ඝ නිෂ්පාදනයකි.

ඩබ්.ඇම්.මුතුමැණිකේ විදුහල්පතිනිය විසින් සක්‍රීය කර දුන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් උනන්දු කරවීමේ මෙහෙවර පාසලේ ගුරුභවතුන්ගේ දායකත්වය ඇතිව වඩාත් ප්‍රගමණයට ගෙන ඒමට ඇය අනලස් වූවාය.

මේ අතර පාසල් විෂය සමගාමී ක්‍රියාකාරකම් ඔප්නැංවීමේ වැඩසටහන් ගණනාවක් ඇයගේ සේවා කාලයේදී ඉටුවිය.

පොඩිමැණිකේ විදුහල්පතිනියගේන් පසු නැවත පාසලේ විදුහල්පති ලෙස පත්වීම් ලබන්නේද පාසලේ ආදි ශිෂ්‍යයෙක් වූ එච්.එම්. සුනිල් හේරත්‍් ය. ඔහු විදුහල්පති තනතුර හොබවන කාලය වනවිට ඇහැටුවැව ප්‍රාථමිකයේ ශිෂ්‍යත්ව විභාග ලකුණු මට්ටම් 170, 180 උපරිමය දක්වා ප්‍රගතියකට පැමිණ තිබුණේය.

ඉන්පසු සුධර්ම වික්‍රමසිංහ සහ ජයන්ත ගුණතිලක යන විදුහල්පතිවරුන්ගේ යුගය පාසලේ නම මහව අධ්‍යාපන කලාපයේ ප්‍රශස්ත මට්ටමේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලයක් අතර රැඳවීමට සමත් වූ කාලයක් ය.

ඇහැටුවැව ප්‍රාථමික විදුහලේ වත්මන් විදුහල්පති වසන්ත දසනායකටත් ඇත්තේ ඇහැටුවැව ප්‍රාථමිකයේත් ඇහැටුවැව මහ විදුහලෙත් සිප් සතර උගෙන විදුහල්පති දක්වා පැමිණි ගමනක්‍් ය.

ඇහැටුවැව ප්‍රාථමිකයට පත්වීම් ලැබූ බොහෝ විදුහල්පතිවරුන් ට, ගුරු භවතුන්ට සිප් කිරි පෙවූ මවු වීම නිසාම ඔවුන්ට මේ පාසල සමග ඇත්තේ ගහට පොත්ත පොත්තට ගහ වැනි බැඳීමක්‍ි.

දරුවා තම මව් රකින්නාක් සේ, ගොවියා කුඹුර අස්වද්දන්නා සේ ඔවුහු මේ භූමිය ඇස් මානේ ලෝභ නැතිව රකිති, බලති, පහදති, සරසති.

එයින් තවත් අලුත් මල් ඵල ලෝකයට පීදෙති.

අප කුඩා සන්ධියේ මේ පාසලේ ඉදිරියේම පෙනෙන ගොඩනැගිල්ලේ ඉදිරි බිත්තියේ විශාල චිත්‍රයක් ඇඳ තිබිණි. ඉර හිනැහී පායා එයි. ගස් අත්තේ ඉන්නා කුරුලු පැටව් කට ඇරගෙන සිටිති. ඔවුන්ට කුරුලු මව්පියෝ කෑම කවමින් සිටිති.

ඉස්කෝල බෑග් බෝතල් කරේ දමාගෙන කිරි සුදු නිල ඇඳුම් ඇඳගත් පුතෙක් හා දුවක් සිනා මුසුව පාසලට පැමිණෙමින් සිටිති.

ඒ සිතුවමට යටින් විශාල රවුම් බෝල අකුරින්

ලියා තිබුණේ....

"මේ ඔබේ දරුවාගේ පාසලයි...."


 

More News..