දකුණු කොරියා තරගයේදී පුරුදු හෙල්ල භාවිතයට නොදුන් නිසා ඔලිම්පික් මට්ටම ගිලිහී ගියා
16 September 2026 | •නදුන්ක නෙත්සර • ටී.කේ.ජී. කපිල - කටුනායක
දකුණු කොරියා තරගයේදී පුරුදු හෙල්ල භාවිතයට නොදුන් නිසා ඔලිම්පික් මට්ටම ගිලිහී ගියා
16 September 2026 | •නදුන්ක නෙත්සර • ටී.කේ.ජී. කපිල - කටුනායක
ලෝක අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසි කිරීම ශූරතාව දිනා ගැනීමට සමත් වූ ලොව අංක එකේ හෙල්ල විසි කිරීම ක්‍රීඩක රුමේෂ් තරංග ඊයේ (15 වැනිදා) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ නැවත මෙරටට ළඟා වූ නමුත් ගුවන් සේවයට භාර දී තිබූ භාණ්ඩ නැවත භාරගන්නා අවස්ථාව වන විට ඔහුගේ හෙල්ල 5 ම කැඩී විනාශව ගොස් තිබීම ආන්දෝලනාත්මක සිදුවීමක් විය.
හංගේරියාවේ පැවැති කුලුඳුල් ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේදී මීටර් 91.09ක සුපිරි විසිකිරීමක් සමගින් සිය පළමු ලෝක මට්ටමේ ශූරතාව දිනාගත් රුමේෂ් තුර්කියේ ඉස්තාන්බුල් සිට තුර්කි ගුවන් සේවයේ ටී.කේ. - 730 දරන ගුවන් යානයෙන් මෙරටට ළඟා විය. කෙසේ වෙතත් ගුවන් ගමන ඇරැඹීමට පෙර ගුවන් සේවයට ලබාදුන් හෙලි 5 නැවත කටුනායක ගුවන්තොටුපළේදී ලබා ගන්නා විට හෙලි 4ක් කැඩී තිබී ඇති අතර ඉතිරි හෙල්ලද යළි භාවිත කළ නොහැකි අයුරින් නැමී විනාශව ගොස් තිබිණි. වසර දෙකක පමණ කාලයක් පුරා රුමේෂ් විසින් භාවිතයට ගන්නා මෙම හෙලි උසස්ම වර්ගයේ, ලොව හොඳම වර්ග ලෙස සැලකෙන Nemeth සහ Nordic සන්නාමවල හෙලි වන අතර එක් හෙල්ලයක වටිනාකම රුපියල් ලක්ෂ 5ක් පමණ වේ. රුමේෂ් විසින් රෝම ඩයමන්ඩ් ලීගයේදී මීටර් 92.62ක් ලෙස ප්‍රථම වරට මීටර් 90 සීමාව පසුකළ හෙල්ල මෙන්ම සූරික් ඩයමන්ඩ් ලීගයේදී මීටර් 92.07ක දක්ෂතාවක් සහ අල්ටිමේට් ශූරතාවලියේ දී මීටර් 91.09ක දක්ෂතාවක් දැක්වූ හෙල්ල කිහිපයද මෙම විනාශ වූ හෙලි අතරට අයත් වේ. එමෙන්ම රුමේෂ් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පරිත්‍යාග කිරීමට අදහස් කළ හෙල්ලක් ද මේ අතර තිබී ඇත. මේ පිළිබඳ ගුවන්තොටුපළේදී අදහස් දැක්වූ රුමේෂ්, තමන් වෙනදා කටුනායක ගුවන් තොටුපොළ වෙත සතුටින් පැමිණියද, අද ගුවන් තොටුපොළෙන් පිටතට පැමිණියේ ඉතාමත් කනගාටුවෙන් බව පැවසීය. මෙම හෙලි එළැඹෙන ආසියානු ක්‍රීඩා උළෙල, 2027 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලිය සහ 2028 වසරේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා ද භාවිත කිරීමටත්, අනතුරුව සිහිවටන ලෙස තමා සන්තකයෙහි තබා ගැනීමටත් රුමේෂ් සැලසුම් කර තිබුණු පසුබිමක මෙම තත්ත්වය උදා වීම කනගාටුවට කරුණකි. මෙම සිදුවීම සම්බන්ධව තුර්කි ගුවන් සේවයට එරෙහිව රුමේෂ් තරංග විසින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබිණි. සිදුවීම සම්බන්ධයෙන් 'අරුණ'ට අදහස් දැක්වූ රුමේෂ්ගේ පියා තුෂාර ප්‍රේමකීර්ති, "මම සහ රුමේෂ්ගේ පුහුණුකරු මේ දේවල් පුතාට ලබාදෙන්න අනුග්‍රාහකයන්ට කතා කරලා සෑහෙන්න මහන්සි වුණා. මොකද මේ හෙලිවල වටිනාකම ලක්ෂ 25ක් වෙනවා. ලංකාවට ගෙන්වද්දී වියදම ලක්ෂ 30කටත් වැඩියි. මේ හෙලි අතරින් 3ක් Nemeth වර්ගයටත් හෙලි 2ක් Nordic වර්ගයටත් අයත් හෙලි. මේව ස්විස්ටර්ලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවලින් ගෙන්වපුවා. මේව ලොකු වේගයකින් ගිහින් පොළොවට ගිහින් වදින්න හදපු හෙලි. ඉතින් මටත්, රුමේෂ්ගේ අම්මටත් මේ පිළිබඳව ලොකු කනගාටුවක් තියෙනවා." යනුවෙන් සඳහන් කළේය.
කාබන් ෆයිබර් මගින් සකස් කරන ඉහළ වර්ගයේ හෙලි මෙලෙසින් කැඩී යාම බලාපොරොත්තු විය නොහැකි සිදුවීමක් වන අතර රුමේෂ්ට තුර්කිය ඇතුළු රටවලින් එම රටවල් නියෝජනය කිරීම සඳහා හිමි වූ ආරාධනා ඔහු විසින් ප්‍රතික්ෂේප කළ පසුබිමක මෙවැනි තත්ත්වයක් හට ගැනීමද කැපී පෙනෙන කරුණකි. එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙල ද දින කිහිපයකින් ආරම්භ වන පසුබිමක රුමේෂ් විසින් කලක් භාවිත කරමින් දක්ෂතා දක්වන ලද සුපුරුදු හෙලි අහිමිවීම ඔහුට අවාසියකි. මේ අතර සිදුවීම පිළිබඳව අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, ගුවන් සමාගම පාර්ශ්වයෙන් වරදක් සිදුව තිබේ නම් හානිය සඳහා වන්දි ලබදීමට කටයුතු කරන බවත් තුර්කි ගුවන් සේවය විසින් සඳහන් කර ඇත.
රුමේෂ් අද සිටින තත්ත්වයට පැමිණීමට පෙර, එනම් 2024 ආරම්භයේදී පුහුණුවටත්, තරග සඳහා භාවිත කිරීමටත් එකම එක හෙල්ලක් පමණක් අතැතිව ජාත්‍යන්තරට ගිය ආධුනික ක්‍රීඩකයකු විය. රුමේෂ් එම එකම හෙල්ලය ද රැගෙන ඔලිම්පික් සුදුසුකම් අපේක්ෂාවෙන් දකුණු කොරියාවේ පැවැති ආසියානු විසි කිරීමේ තරගාවලියට සහභාගි වූ අතර එහිදී දැන්ගන්නට ලැබුණේ මෙරට බලධාරීන්ගෙන් හිමිව තිබූ එම හෙල්ල නීත්‍යනුකූල නොවන බවය. එබැවින් පුරුදු හෙල්ල පසෙකලා තරගය සඳහා සංවිධායකයන් සැපයූ හෙල්ලකින් තරග කළ රුමේෂ්ට ඔලිම්පික් පරිසාධන මට්ටම සෙන්ටිමීටර 5 කින් මග හැරුණද නව ශ්‍රී ලංකා වාර්තාවක් අලුත් කිරීමට සමත් විය. දෛවෝපගත ලෙසින් අද වන විට ආසියානු ක්‍රීඩා උළෙල සම්මුඛයේ සිටින රුමේෂ් යළි පත්ව සිටින්නේ එදා මෙන්ම ආධුනික හෙල්ලකින් තරග කිරීමට සිදුවන තත්ත්වයකටය.

