brand logo
logo
 මත් ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරින් පසුපස පොලිසිය පන්නයි

මත් ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරින් පසුපස පොලිසිය පන්නයි

20 August 2026 | එෆ්. අස්ලම් / ඉමාෂා රණතුංග


බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවල ඇතැම් නිලධාරීන් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා නිරීක්ෂණය වීම හේතුවෙන් පළාතේ සියලුම පොලිස් ස්ථානවල නිලධාරීන් නිරන්තර අධීක්ෂණයට හා පරීක්ෂා කිරීම්වලට ලක්කරන ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත සියලුම උසස් පොලිස් නිලධාරීන් වෙත නියෝග කර තිබේ.


ගෙවුණු මාස හතරක කාලයේදී දෙහිවල, පෑලියගොඩ සහ කෙසෙල්වත්ත පොලිස් ස්ථානවල නිලධාරීන් තිදෙනකු මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, මත්ද්‍රව්‍ය භාවිත කිරීම හා අල්ලස් ලබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම හා අසතුටුදායක තොරතුරු ලද පොලිස් නිලධාරින් සම්බන්ධයෙන් වැඩි වශයෙන් වාර්තා වීම හේතුවෙන් මෙම නියෝග මාලාව නිකුත් කර ඇත.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කර ඇත්තේ මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව පොලිස් ස්ථානාධිපතිවරුන් හා රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් මෙම නිලධාරින් සමීප අධීක්ෂණයට ලක් නොකිරීම සහ අවවාද අනුශාසනා ලබාදී නිසි ලෙස රාජකාරී සඳහා යොමු නොකිරිම බවයි.


එසේම නිලධාරීන් විනය කඩකිරීම් සිදුකරන පළමු අවස්ථාවේදීම අදාළ විනය ක්‍රියාමාර්ග නොගැනීමද මෙම තත්ත්වයට හේතුවී ඇතැයිද එමගින් අවධාරණය කර ඇත.


එමෙන්ම නිලධාරීන්ගේ මුදල්, යතුරුපැදි ඇතුළු සෙසු වාහන මෙන්ම ඔවුන් ඇසුරු කරන සමීපතමයන් සම්බන්ධව නිසි අවධානයක් හෝ අධීක්ෂණයක් නොවීමද මෙම තත්ත්වයට හේතු වී ඇතැයි නිරීක්ෂණය වී තිබෙන බවටද මෙම ලිපිය මගින් පෙන්වා දී ඇත.


මේ අනුව කොට්ඨාස භාර නිලධාරී, දිස්ත්‍රික් භාර නිලධාරී, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සහ ස්ථානාධිපති මගින් පොලිස් නිලධාරීන් හදිසි පරීක්ෂා කිරීම්වලට භාජනය කළ යුතු බවත් භට නිවාසවල රැඳී සිටින විවේකී අවස්ථාවලදී ඔවුන්ගේ ක්‍රියාකාරකම්, රාත්‍රි නාම ලේඛනයට පෙනී සිටීම සහ එයින් පසු එම නිලධාරින් භෞතිකව ස්ථානයේ රැඳී සිටීම මෙන්ම ක්‍රියාකාරකම් අධීක්ෂණය කළ යුතු බවටද මෙමගින් නියෝග කර තිබේ.


තවද මීට අදාළව ගන්නා ක්‍රියාමාර්ග හා ප්‍රගතිය සම්බන්ධයෙන් තමා වෙත වාර්තා කරන ලෙසද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පළාතේ සියලුම දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් කොට්ඨාස භාර නිලධාරින් සහ ක්‍රියාකාරී කොට්ඨාසවල අධ්‍යක්ෂවරුන් වෙත නියෝග කර ඇත.


මෙම නියෝග මාලාවට අනුව බස්නාහිර පළාත දකුණ, උතුර සහ කළුතර දිසාවන් මගින් විශේෂ වැඩපිළිවෙළක් මේ වනවිටත් ක්‍රියාත්මක කර තිබේ.

 

More News..