ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'B-/B' දක්වා ඉහළට
27 November 2026
ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'B-/B' දක්වා ඉහළට
27 November 2026
S&P Global (ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්) ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය ශ්‍රේණිගත කිරීම 'CCC+/C' මට්ටමේ සිට 'B-/B' මට්ටම දක්වා ඉහළ දමා තිබේ.
ඒ අනුව, එම ශ්‍රේණිගත කිරීම්වල ඉදිරි දැක්ම ස්ථාවර (Stable) මට්ටමේ පවතින බව එම ආයතනය නිවේදනය කරයි.
රාජ්‍ය ආදායම අඛණ්ඩව වර්ධනය වීම සහ අභියෝගාත්මක බාහිර ආර්ථික පරිසරයක් හමුවේ වුවද විදේශ සංචිත දිගින් දිගටම ඉහළ යාම යන කරුණු මෙම ශ්‍රේණිගත කිරීම සඳහා පදනම් කරගෙන ඇත.
ආර්ථික වර්ධනයේ ඔරොත්තු දීමේ හැකියාව හේතුවෙන් රජයේ මූල්‍ය තත්ත්වය සහ විදේශීය සංචිත තවදුරටත් ශක්තිමත් වන බවත්, ණය සේවාකරණය සම්බන්ධයෙන් රජයට පවතින අවදානම් සැලකිය යුතු මට්ටමකින් අඩු වන බවත් එම ආයතනය පෙන්වා දෙයි.
දිගුකාලීන ශ්‍රේණිගත කිරීම පිළිබඳ දැක්ම ස්ථාවර වන අතර, සාර්ව ආර්ථික ස්ථාවරත්වය ඉහළ නංවන ප්‍රතිපත්ති රජය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කරන බව S&P Global Ratings නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
දිගුකාලීන විදේශ සහ දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් පිළිබඳ දැක්ම ස්ථාවර මට්ටමක පවතින අතර, කෙටි කාලීන විදේශ සහ දේශීය මුදල් ශ්‍රේණිගත කිරීම් 'C' මට්ටමේ සිට 'B' මට්ටම දක්වා ඉහළ නංවා ඇත.
අරමුදල් හුවමාරු කිරීමේ සහ පරිවර්තනය කිරීමේ හැකියාව පිළිබඳ තක්සේරුව 'B-' ලෙසම පවතින බව එම ආයතනය සඳහන් කරයි.
ගෝලීය බලශක්ති වෙළඳපොළේ දිගුකාලීන බාධා පැවතියද, ඉදිරි මාස 6 සිට 12 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
තවද, සාර්ව ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කරන ප්‍රතිපත්ති ඔස්සේ රාජ්‍ය මූල්‍ය සහ බාහිර ආරක්ෂක පියවරයන් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින් සිටින බැවින් මෙය ස්ථාවර තත්ත්වයක් ලෙස පිළිබිඹු වේ.


