විභාග වංචා අර්බුදය හමුවේ දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
22 November 2026
විභාග වංචා අර්බුදය හමුවේ දකුණු කොරියානු අධ්‍යාපන අමාත්‍යවරයා ඉල්ලා අස්වෙයි
22 November 2026
දකුණු කොරියාවම කැළඹූ විභාග වංචා සිදුවීමක වගකීම භාරගනිමින් එරට අධ්‍යාපන අමාත්‍ය චෝයි ක්යෝ-ජින් (Choi Kyo-jin) සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
පසුගිය බ්‍රහස්පතින්දා ( 19) පැවති වාර්ෂික විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගයේදී ('Suneung') කෘත්‍රිම බුද්ධිය (AI) භාවිතයෙන් සිදුකරන වංචා වැළැක්වීම සඳහා අවසන් මොහොතේ ගනු ලැබූ හදිසි පියවර හේතුවෙන් ඇති වූ ප්‍රශ්නගත තත්ත්වයේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බව ඔහු ප්‍රකාශ කර ඇත.
සතියකට පෙර පැවති ජාතික බදු ගණකාධිකාරී විභාගයෙන් ප්‍රථම ස්ථානය දිනාගත් 34 හැවිරිදි හන් වොන්-සොක් (Han Won-seok), ප්‍රශ්න 160 කින් 159 කටම නිවැරදි පිළිතුරු ලබා ගැනීම පිළිබඳව සැක මතුවීමත් සමඟ තමන් වංචා කළ බව පාපොච්චාරණය කළේය.
කුඩා කැමරාවක් මගින් ප්‍රශ්න පත්‍රයේ ඡායාරූප ගෙන AI තාක්ෂණය වෙත යවා, ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ පිළිතුරු ලබාගත් බව ඔහු වීඩියෝ පණිවුඩයක් මගින් පිළිගෙන තිබිණි.
මෙම සිදුවීමත් සමඟ බලධාරීන් විසින් 'Suneung' විභාගය වෙනුවෙන් දැඩි හදිසි පියවර කිහිපයක් හඳුන්වා දී තිබේ.
විභාග වංචාකරුවන් හඳුනා ගැනීම සඳහා දකුණු කොරියාව සිය ජාතික ආපදා ඇඟවීම් පද්ධතිය භාවිතා කළ පළමු අවස්ථාව මෙයයි.
බ්‍රහස්පතින්දා පෙරවරු 8:00 සහ පස්වරු 3:00 අතර කාලය තුළ රට පුරා ඇති සියලුම ජංගම දුරකථන වෙත හදිසි ඇඟවීම් තුනක් නිකුත් කෙරිණි.
දුරකථන නිහඬ (silent) කර තිබුණද, විදේශීය සංචාරකයින්ගේ දුරකථන පවා එකවර නාද වීමට මෙය හේතු විය.
එහිදී ක්‍රියාවිරහිත කළ හෝ 'airplane mode' හි තිබූ දුරකථන පමණක් නාද නොවී ඇති බව සඳහන් වේ.
සැඟවූ කැමරා අවහිර කිරීම සඳහා අපේක්ෂකයින්ගේ කමිස සහ ජැකට් බොත්තම් ආවරණය කිරීමට සිදු වූ අතර, ඇස් කණ්ණාඩි පවා විශේෂ පරීක්ෂාවට ලක් කෙරිණි.
මෙම පියවර හේතුවෙන් අවංකව විභාගයට පෙනී සිටි සිසුන් පවා දැඩි බියකට පත් වූ අතර, සිය සාමාන්‍ය ඇස් කණ්ණාඩි 'ස්මාර්ට් කණ්ණාඩි' ලෙස වරදවා වටහා ගනීවි යැයි බියෙන් ඇතැම් සිසුන් අක්ෂි කාච (contact lenses) පැළඳ විභාගයට පෙනී සිටි බවද වාර්තා වේ.
සිසුන් 500,000 ක් පමණ පෙනී සිටි, පැය නවයක් පුරා පැවැත්වෙන මෙම තීරණාත්මක විභාගය අතරතුර අනවසර ස්මාර්ට් උපාංග ළඟ තබාගත් අපේක්ෂකයින් 111 දෙනෙකු හඳුනාගත් බව එරට අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
"වගකිවයුතු අමාත්‍යවරයා ලෙස, අප කල්තියා සූදානම් වීමට අපොහොසත් වූ බවට එල්ල වන විවේචනවලින් මිදීමට නොහැකි බව මම විශ්වාස කරමි. විභාගය අවසන් වී ඇති බැවින්, ගැඹුරු වගකීමක් දැනෙන අතර මම මගේ ඉල්ලා අස්වීම භාර දෙමි." යනුවෙන් අමාත්‍යවරයි එරට ජනමාධ්‍ය වෙත පවසා ඇති බව සඳහන් වේ.
වත්මන් විභාග ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කළ යුතු බවට මීට පෙරද අදහස් පළ කර තිබූ දකුණු කොරියානු ජනාධිපති ලී ජේ-ම්යුං (Lee Jae Myung) විසින් අමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීම පිළිගෙන තිබේ.


