අස්ගිරිය මාර්ගය පිළිසකර නොකිරීමට එරෙහිව විරෝධයක්
14 September 2026 | කමල් සුරවීර - මහනුවර
අස්ගිරිය මාර්ගය පිළිසකර නොකිරීමට එරෙහිව විරෝධයක්
14 September 2026 | කමල් සුරවීර - මහනුවර
වර්ෂාවෙන් යම් හානියකට පත්ව තිබියදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පූර්ණ හානියට පත්ව ගිලා බැසීමට ලක් වූ මහනුවර, අස්ගිරිය, දොඩම්වල පැසේජ් නාගරික මාර්ගය මේ දක්වා ප්‍රතිසංස්කරණය නොකිරීමට විරෝධය දක්වමින් එම ප්‍රදේශයේ ජනතාව 14 දින අස්ගිරිය මංසන්ධියේ විරෝධතාවයක නියැලුණහ.
විරෝධතාවයේ නියැලුණු ප්‍රදේශවාසීහු අස්ගිරිය මංසන්ධියෙන් මාර්ගය අවහිර කොට රථවාහන ධාවනයට බාධා එල්ල කළ අතර එම අවස්ථාවේ මහනුවර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් පතිරණ මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් රථ වාහන ධාවනයට මාර්ගය විවෘත කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ජනතාව ඊට විරෝධය පෑම හේතුවෙන් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් උද්ගත වීය.
උද්ඝෝෂණය පැයක පමණ කාලයක් පැවති අවස්ථාවේ මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක මහතා හා නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය එම ස්ථානයට පැමිණ මෙම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට උත්සහ කලද ජනතාව ඊටද විරෝධය දැක්වූහ .
පසුව මහනුවර මහනගර සභාව මගින් මෙම මාර්ගය ඉදිකිරීම සඳහා ටෙන්ඩරය ලබාදී ඇති කොන්ත්‍රාත්කරු එම ස්ථානයට ගෙන්වා කරුණු විමසීමක් සිදු කළ අතර ඔහු සඳහන් කළේ මෙම ටෙන්ඩර් ගිවිසුමට අනුව ඉදිරි නොවැම්බර් මස දක්වා තමාට කාලය ඇති බැවින් එම කාලය තුළ අනිවාර්යයෙන්ම මාර්ගය ප්‍රතිසංස්කරණය කොට ගමනාගමනය සඳහා ලබා දෙන බවය.
රැස්ව සිටි ජනතාව සඳහන් කළේ මෙම කොන්ත්‍රාත්කරු ඉතාමත් මැදහත් ආකාරයෙන් මාර්ගය පිළිසකර කිරීමේ නිරත වන බවත් මේ ආකාරයෙන් කටයුතු කළොත් කිසිසේත්ම නොවැම්බර් මාසය වන විට මෙහි වැඩ අවසන් කිරීමට නොහැකි වන බවත්ය.
මෙහිදී නගරාධිපතිවරයා මෙන්ම නාගරික කොමසාරිස්වරිය අදාල කොන්ත්‍රාත්කරුට උපදෙස් ලබා දුන්නේ මෙය රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමින් යුත් ටෙන්ඩරයක් බැවින් නියමිත දිනයට අනිවාර්යයෙන් මාර්ගයේ වැඩ අවසන් කළ යුතු බවය. ඉන් අනතුරුව පොලිසිය මැදිහත් වී මාර්ගය රථ වාහන ගමනාගමනය සඳහා විවෘත කිරීමට පියවර ගත්තේය.

