බෝට්ටුවෙන් ගිහින් ගංවතුරේ ගොයම් කපන වියට්නාම් ගොවියෝ
14 November 2026 | සනත් එම් . බණ්ඩාර
බෝට්ටුවෙන් ගිහින් ගංවතුරේ ගොයම් කපන වියට්නාම් ගොවියෝ
14 November 2026 | සනත් එම් . බණ්ඩාර
තද නිල් පැහැයෙන් ගත සරසාගත් වියට්නාම් ගුවන් සේවයට අයත් A321 ගගන යාත්‍රාව මගීන් දෙසිය ගණනකුත් සමගින් මැදියම් රැයේ දී කොළඹින් පිටත් වී පැය පහකට එහාගිය ගමනක් නිමාකරමින් සයිගොන් නුවරට ගොඩබසින විට වියට්නාම් දේශයට අරුණලු නැගෙමින් තිබිණි. වියට්නාමුවන් තවමත් කටවහරේ දී සයිගොන් යයි කියූවත් ජාත්‍යන්තරයේ එපුරවරය හැඳින්වෙන්නේ ‘හෝචිමිං සිටි’ හැටියටයි.
නිල වශයෙන් එසේ නම වෙනස් කෙරුවේ එරට විප්ලවවාදී නායකයා වූ ජනාධිපති හෝචිමිං වෙත කෙරෙන ගෞරවයක් හැටියට 1976 වසරේදීය. එය හරියටම මෙයට වසර පනහකට පෙරවූ සිදුවීමකි. දශක දෙකක් පමණ තිස්සේ ඇදීගිය ‘වියට්නාම් යුද්ධය’ එදා අවසානය දකිනවිට, යුද්ධයට මැදිවූ ඇමරිකානු සෙබළුන් 58,000ක් පමණ ද, වියට්නාමුවන් මිලියන දෙක තුනකින් ද ජීවිතවලින් වන්දි ගෙවා තිබුණු බව ඉතිහාසයේ සඳහන්වේ.
පෙනුමෙන් අහිංසක කුඩා මිනිසුන් කොට්ඨාසයක් වූ වියට්නාම් ජනතාවට හැඩිදැඩි ඇමරිකානුවන් පහරදුන්නේ ඔවුන්ගේ ජීවිත පමණක් නොව රටේ පරිසරය ද විනාශ කරමිනි. ගුවනින් ගොසින් ‘ඒජන්ට් ඔරෙන්ජ්’ නමැති පිළිකාකාරක උග්‍ර විෂ රසායනය භූමියට ඉසීම මේ අතර ඇති එක උදාහරණයක්ය. මෙහි ඩයොක්සින් නමැති විෂද්‍රව්‍ය තිබෙන අතර ඒ හමුවේ සියලු ශාකයන් හි පත්‍ර හැලීයයි. වනගතව සිටි වියට්නාම් ගරිල්ලා සටන්කරුවන් පිටතට නිරාවරණය වී ඇමරිකානු ඉලක්කවලට පහසුවෙන් හසුවූයේ එබැවිනි. 1961-71 දස වසර ඇතුළත අක්කර මිලියන හතර හමාරක භූමියක ‘කොළ හැලෙන්නට’ ඒජන්ට් ඔරෙන්ජ් ස්ප්‍රේ කළ බව කියැවේ.
අසාමාන්‍ය තරමකට විෂ අවශේෂයන් රුධිරයේ දරාගෙන විවිධ රෝගාබාධයන්ට ගොදුරුවෙමින් ජීවත්වෙන වැඩිහිටි වියට්නාමුවන් අදටත් එරට දී හමුවන්නේ ද මේ හේතුවෙනි. ඊට අමතරව භෝග ශාකයන්ගේ පැවැත්මට ද එය බාධාවක් වී සමස්ත ජනතාවම ආහාර අහේනියකට තල්ලු කරනු ලැබිණි. ගහකොළ නොමැති වූ නිසාම අතට හසුවෙන කිනම් සතකුගේ මාංශයක් වුවද ගිලදැමීමේ පුරුද්ද ඔවුනට ලැබුණේ මෙම ආහාර හිඟය හරහා වන අතර, අදටත් එරට තිබෙන සත්ත්ව මාංශ ආහාර විවිධත්වයේ සීමාමායිම් සෙවීම නම් අතිශයින් දුෂ්කර කර්තවයකි. ඇතැම් වීදි ආහාරවල ඇත්තේ කිනම් මාංශයක්දැයි දන්නා කෙනෙක් නැත. දන්නා අය අතරින් පතර සිටියත් අපට ඒබව කියන්නට ඔවුන් ඉංග්‍රීසි දන්නේත් නැත.
එහෙත් මේ වනවිට වියට්නාමය කියන්නේ ආසියාව තුළ වේගයෙන්ම සංවර්ධනය වන රටකි. එම තත්ත්වය ළඟාකරගැනීම සඳහා යුද්ධය නිමාවූ දවසේ පටන් පුංචි සිරුරකින් හෙබි මේ මිනිස් වර්ගයා ගලිවරයන් සේ රට වෙනුවෙන් වැඩකර තිබේ. ඉන්දියාවට පමණක් දෙවැනි වෙන ලෝකයේ විශාලතම සහල් අපනයනකරු බවට පත්ව ඇත්තේ වියට්නාමයයි. කෝපි උපන් බ්‍රසීලයට පසුව ලෝකයේ ප්‍රධාන කෝපි නිපදවන්නා ද වියට්නාමයයි. කෝපි අපනයනයෙන් පමණක් 2024 - 25 කාලපරාසය තුළ ඔවුන් ඩොලර් බිලියන 8.4ක් උපයාගෙන තිබේ. පලතුරු හා එළවළු අපනයනයෙන් ඉපැයූ මුදල ඩොලර් බිලියන 8.6කි. එහෙත් වියට්නාමයට සාපේක්ෂව පරිසර අපල උපද්‍රව ඉතා අවමයෙන් දැනෙන ශ්‍රී ලංකාවේ විදේශ වත්කම් සංචිතය පසුගිය සැප්තැම්බර් අවසානවෙත්දී ඩොලර් බිලියන 6.85 වී ඇතැයි අප කෑගසා කීවේ කෙතරම් ආඩම්බරයෙන්ද? අප මෙසේ ලියන්නේ එම අහිංසක ආඩම්බරය අවතක්සේරු කිරීමට නම් නොවේ.
වසර කීපයකට ඉහත දී අප සිටියේ තෙල් නැවක් ගොඩබාගන්නටවත් ඩොලර් සොච්චමක් නැතිව හතරගාතේ වැටීගෙනය. හැකිතරමින් මේ වෙලාවේ අසල්වැසියාට ආධාරයක් කළයුතු යැයි ඉන්දියාවේ යාචකයන්ටත් සිතිවිලි පහළවෙන යුගයකය. එවන් තත්ත්වයක් යටතේ වියට්නාමය එළවළු විකුණා ලබන ආදායමටවත් ළංවෙන ගාණට ආර්ථිකය හසුරුවාගැනීමට හැකිවීම පිළිබඳව අප කෙසේ ආඩම්බර නොවන්නේද? ඉඳහිට ෂෙඩ් ඉස්සරහ පෝලිමක් දෙකක් හැදුනාට, උණහපුළුවාට උගේ පැටවා මැණිකක් වන්නාසේ ලබා ඇති මෙම ප්‍රගතිය අපට කප්පරක් වටිනා එකකි. එහෙත් වැටුණු ජාතියක් නැගිටින්නේ කෙසේදැයි කදිමට කියාදෙන ‘වියට්නාම් පාඩම්’ කීපයක් තවදුරටත් අපේ උදවිය කියවාගත යුත්තේ, පසුගිය වසර අවසන් වනවිට එරට විදේශ මුදල් සංචිත සේප්පුව තුළ, ඩොලර් බිලියන 85කටත් වඩා පිරී තිබුණු නිසාය. ජන්මෙට වඩා පුරුද්ද ලොකුවූ බැවින් සංචාරය අතරතුරදීත් අපගේ ඇස නවතින්නේ වියට්නාමුවන්ගේ ගොවිතැනේ සුලමුල ඇවිස්සෙන තැන්වලවීම, ඇතැම්විට කරදරයක් සේ ද දැනිණි.
ඉංග්‍රීසි එස් අකුරේ හැඩයට භූමිය නිර්මාණය වූ වියට්නාමයේ දකුණු දිග පිහිටි හෝචිමිං නුවර පිහිටා ඇත්තේ මීකොන් නදිය මුහුදට වැටෙන ‘මීකොන් ඩෙල්ටාව’ සමගය. මීකොන් ගංගාව ඇරැඹෙන්නේ චීනයෙනි. අනතුරුව එය මියන්මාරය, ලාඕස්, තායිලන්තය, කාම්බෝජය යනාදී රටවල් හරහා ගලමින් අන්තිමට වියට්නාමයට ඇතුල් වී, දකුණු චීන මුහුදෙන් අවසන් වේ. එබැවින් මීකොන් ඩෙල්ටාව කියන්නේ නිතර ගංවතුරෙන් යටවෙන භූමියකි. ඩෙල්ටා කියන්නේ ග්‍රීක හෝඩියේ හතරවැන්න වන අතර එහි කැපිටල් අකුර ත්‍රිකෝණාකාරය. සැතැපුම් සියගණන් ඈත සිට ගංගා ජලය සමග පැමිණෙන වැලි, රොන්මඩ, මැටි යනාදියෙන් ගංගා මුඛය අවහිර වී, ත්‍රිකෝණාකාර භූමියක් වැසෙන පරිද්දෙන් මෝය කට අසල අතු ගංගා රැසක් නිර්මාණය වෙන බැවින් එවැනි තැනක් ‘ඩෙල්ටා’ වශයෙන් නම්කර තිබේ.
චීනය වැනි කාර්මික රටක් ද ඇතුළුව තවත් රටවල් පහක් සෝදාගෙන ඇවිත් අන්තිමට ගංවතුරක් හැටියට මීකොන් ඩෙල්ටා භූමිය වසාගත්තද, මේ ජලකඳ නම් වියට්නාමුවන්ට සොබාදහමේ ආශීර්වාදයකි. එහි දියවී තිබෙන පෝෂක ද්‍රව්‍ය කෙතරම්ද කියනවානම් එම සාරවත් ගොවිතැන් කලාපයේ ගොවීන් පිටින් ගෙනැවිත් පොහොර දමන්නේ නැත. නිතරම ජලයෙන් යටවී තිබෙන කුඹුරු තුළ ඔවුහු යහමින් ඉස්සන් හා මත්ස්‍ය වගාව ද සිදුකරති. තාරාවුන් ද ඇති කරති. වගුරුබිම් බහුල නිසා එම කලාපය ජෛව විවිධත්වයෙන්ද පොහොසත්ය. මිලියන දාහතක, එනම් ලංකාවේ ජනගහනයට ආසන්න ගණනක් මිනිසුන් ජීවත්වෙන, පළාත් දොළහක් තුළ විහිදී පැතිරී තිබෙන මීකොන් ඩෙල්ටාව මේ අනුව හැඳින්වෙන්නේ වියට්නාමයේ ‘සහල් බඳුන’ වශයෙන්ය. ජනගහනයෙන් 80% කම ජීවනෝපාය සමග කිසියම් ආකාරයට ගොවිතැන ගැටගැසී තිබෙන්නේ රටේ සමස්ත වී නිෂ්පාදනයෙන් භාගයකම වගකීම ඔවුන් වෙත පවරමිනි.
අපට දැනගන්නට ලැබුණේ මෙවැනි පරිසරවලට උචිතවන පරිද්දෙන් ඔවුන්ගේ වී ප්රභේදයන් ද තෝරාගෙන ඇති බවයි. නිතර වතුරට යටවෙන කුඹුරු නිසා ඒවා බොහොමයක් ‘ගැඹුරු ජල සහල්’ ප්‍රභේදයට අයත්ය. (Deep Water Rice). පැරැණි ගොවීන් වගාකළ ඒවාටත් වඩා හොඳ ඵලදායී ‘ගැඹුරු ජල ප්‍රභේද’ නිර්මාණය කිරීමෙහිලා එරට විද්‍යාගාර අදටත් හොඳටම කාර්යබහුලව වැඩකරයි. එසේ වැඩි දියුණු කළ වී ප්‍රභේද ගණනාවක් ද නිදහස්කර තිබේ. ගංවතුර ගලා කුඹුරු පාළුවෙත්දී මෙරට ගොවීන් පොළොවේ හැපෙමින් විලාප දුන්නද, මීකොන් ඩෙල්ටාවේ ඉහලයන ගංවතුරේ ජල මට්ටම දෙස ගොවීන් බලාහිඳින්නේ සතුටෙනි. ජල මට්ටමත් සමග ගොයමේ කඳන් ඉහළට දික්වෙන අතර ශාකපත්‍ර සහ පීදුණු කරල ජලයෙන් ඉහළ පිහිටන බැවින් ධාන්‍ය නිපදවීමේ බාධාවක් ද නැත. ඇතැම් සාම්ප්‍රදායික වී ප්රභේදයන් හි කඳන් මීටර් තුනහතරක් වුවද දිගට වැඩෙන බව, මගපෙන්වන්නට එකතු වූ වියට්නාමුවෙකුගෙන් අපට දැනගන්නට ලැබිණි. විද්‍යාව ඉගෙනගන්නා දරුවන්ට රසවත් වියහැකි බැවින් මෙහි පසුබිම් කතාවත් කෙටියෙන් ලියන්නට සිතේ.
වතුරෙන් යටවෙනවිට කඳන් දික්වෙන්නේ මැජික් බලයකින් නොව, එම වී ප්‍රභේද සතු ආවේණිගත හැකියාවක් නිසාය. ජලයෙන් ගිලුණු පරිසරයේ එතිලීන් වායුව වැඩියෙන් නිපදවෙන අතර, ඒ හමුවේ ගොයම සතු සුවිශේෂී ජාන කීපයක් සක්‍රිය වෙමින් ගිබරලින් නමැති හෝමෝනය නිපදවීම උත්තේජනය කරවයි. මෙය කඳන් දිගුකරවීමට සමත්වෙන හෝමෝනයක් නිසා දික්වීමේ වැඩේ දිගටම සිදුවෙන අතර, ඇතැම් ගොයම් ප්‍රභේද දිනකට සෙන්ටිමීටර විසිපහක් නොහොත් අඩියකට ආසන්න දිගක් දක්වා වුවද ඉහළට ඇදීමේ බලය ලබාගන්නා බව පරීක්ෂණාත්මකව පෙන්වා දී ඇති කරුණකි. ගොවීන් වී වපුරන්නේ ගංවතුර එන්නට පෙරාතුවයි. එම අවස්ථාවේ දී ඇතැම්විට කෘෂිරසායන ද්‍රව්‍යයක් සුළුවෙන් භාවිතවුවද, ඉහළ නගින ජලමට්ටමත් සමග භෝගය ඉහළට වැඩෙද්දී එහි අවශ්‍යතාවය ද නැතිව යයි. මෙම ක්‍රමය නිසා ඔවුන් ගංවතුරට හසුවෙන කෘෂිකාර්මික ඉඩම්වලින් වැඩක් ගනී. වගාවට භූමියේ ඇති බලපෑම අවම බැවින්, වී වවන්නට නුසුදුසු භූමි ද වී ගොවිතැනට යොදාගනී. එපමණක් නොව පහත්බිම්, ගංගා ද්‍රෝණි පවා මේ යටතේ ආහාර නිෂ්පාදනයට යෙදවෙන අතර වෙනත් රටවලින් හෝ ගංවතුරේ දියවී වියට්නාම් භූමියට ඇතුල්වෙන පෝෂණ පදාර්ථ ද තම වාසියට යොදාගන්නේය. ලෝකයේ පවත්නා සම්ප්‍රදායික වගා තාක්ෂණ අතර ඉහළ පිළිගැනීමක් ‘ගැඹුරු ජල වගාවට’ හිමිව ඇත්තේ එබැවිනි.
කතාව රහට තිබුණාට ගැඹුරු ජල සහල් ප්‍රභේද අදාළ වන්නේ පුළුල් ගංගා නිම්න සහ සෘතුමය ගංවතුර ඇති රටවලට මිස, තද වැස්සක දී පිටාර වතුරෙන් දින කීපයකට කුඹුරු යටවෙන ශ්‍රී ලංකාව වැනි තැන්වලට නොවේ. මෙරට සහල් විද්වතුන් අභිජනන ක්‍රියාවලි හරහා නිපදවූයේද කෙටි ශක්තිමත් කඳක් සහිත වැඩියෙන් පඳුරු දමන ‘අර්ධ වාමන’ (Semi dwarf) වී ප්රභේදයන් මිස, වියට්නාම් ගංවතුරේ හැදෙන ඒවා මෙන් දුර්වල කඳන් සහිත, අඩුවෙන් පඳුරු දමන, උසින් වැඩි ගොයම් ප්රභේදයන් ද නොවේ. ගංවතුර ගලන තැන්වල දී මේවා වගා කෙරුවත්, එරට සාමාන්‍ය කුඹුරු පිරී ඇත්තේ අපේ රටේ මෙන්ම වැඩි අස්වැන්නක් සඳහා නිපද වූ වී ප්රභේදවලිනි. මෙරට ඇතැමුන්ට මෙන් සම්ප්‍රදායික වී ප්‍රභේද ‘පිස්සුවක්’ ඔවුන්ට නැත. වියට්නාමුවන් සම්ප්රදාය පිටුපස යන්නේ එයින් ගතහැකි දෙයක් වර්තමානයටත් තිබෙන්නේ නම් මිස, සිරිත පැරැණි වූ නිසාම නොවේ. මෙරට ඇතැම් ව්‍යාපාරිකයන් පරීක්ෂණාත්මකව සනාථ නොකළ පෝෂණ හෝ ඖෂධීය යහගුණ පෙන්වමින් මෙරට තිබෙන සරුකෙත්වල ද, අස්වැන්නෙන් අඩු පැරැණි ප්‍රභේද වවන්නට ගොවීන් උසිගැන් වූ අවස්ථා, අපි වසර කීපයකට ඉහත දී දුටුවෙමු.
මේවා කොතැනක හෝ බිම්කඩක සුළුවෙන් වගාකරමින් ලස්සන අසුරුම් තුළ බහා, ඇති හැකි උදවියට ගන්නට ගිනිගාණට විකිණීමේ අවුලක් නැති අතර, බාහිර ඔපයට රැවටෙන එම පාරිභෝගික පැළැන්තිය එවන් සහල් මල්ලක් රැගෙන ගොසින් සියලු දොස් නිවාරණයට ඒවා වැළඳීමේ විවේචනයක් ද අපට නොතිබේ. මෙය ලියා තැබුවේ සම්ප්‍රදායික වී ප්‍රභේද කෙරෙහි ඇති වියට්නාම් - ශ්‍රී ලංකා භාවිතාවේ වෙනස පෙන්වා දීමටයි. වියට්නාමුවන් සම්ප්‍රදායික වී ප්‍රභේද වවන්නේ ‘තැනට ගැළපෙන්න’ වුවද මෙරට ඇතැමුනට පැරැණි ප්‍රභේද උවමනා වන්නේ දසමහ යෝධයන් ඒවා අනුභව කිරීමෙන් පසු ලබාගත් ගස් ගල් පෙරැලූ කාය ශක්තිය යළි හැබෑකර ගන්නටය.
කිරිගොට්ටක් හැඩැති ආවේණික හිස්වැස්මත් පැලඳගෙන, දකුණු දිග වියට්නාමයේ මීකොන් ඩෙල්ටාවේ බෝට්ටු පදිමින් ගැඹුරු දියමත ගොයම් කපනා ගොවියන්ගේ දසුන හැබෑවටම සුන්දරය. මහවැලි කලාපයක කුඹුරක කුලියට ගොයම් කපන්නට ‘භූතයා’ එනතුරු ඇඟිලි ගනිමින් මගබලා හිඳින අසරණ ගොවියන් මෙන්ම, වැඩේ කරගත් පසුව පිදුරුටිකට පමණක් නොව ඉපනැල්ලටත් ගිනිතබා ගෙදර යන නොමිනිසුන් නොදැකීම නිසා මේ සුන්දරත්වය තවත් ඔපනැංවී ඇති බව යටිසිත පවසද්දී, මීකොන් ඩෙල්ටාවේ ගොවිබිමට සමුදී පැමිණියෙමු.


